මඩාටුගමදී සිදු අනතුරකින් දෙදෙනෙක් මරුට: 12ක් රෝහලේ


(කාංචන කුමාර ආරියදාස)


කැකිරාව දඹුල්ල ප්‍රධාන මාර්ගයේ මඩාටුගම ප්‍රදේශයේ දී වෑන් රථයක් සහ කුඩාලොරි  රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් දොළොස් දෙනෙකු බරපතල තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි කැකිරාව පොලිසිය කියයි.


මෙසේ රිය අනතුරින් මියගොස් ඇත්තේ ගල්කිරියාගම පොලිස් බල ප්‍රදේශයට අයත්   නෑගම්පහ ප්‍රදේශයේ පදිංචි හාබ්දින් ඉසාක් ඩින් (58) නූර්දීන් සමිරා උම්මා  (46) යන දෙදෙනෙකු බව පොලීසිය කියයි.


සහල් සහ සිල්ලර බඩු ප්‍රවාහනය කරමින් තිබූ කුඩා ලොරි රථයක් කැකිරාව ප්‍රදේශයේ සිට දඹුල්ල දෙසට ධාවනය වී තිබෙන බවත් ඒ අතරතුර දඹුල්ල දෙසින් කැකිරාව දෙසට වෑන් රථය ධාවනය වෙමින් තිබියදී  ලොරි රථය  තවත් යතුරු පැදියකට ඉස්සර කිරීමට ගිය අවස්ථාවේ දී ඉදිරියෙන් පැමිණි වෑන් රථයේ ගැටීමෙන්  ඊයේ (23)   මෙම අනතුර සිදුව ඇතැයි කැකිරාව පොලිසිය කියයි.


අනතුර සිදු වීමත් සමඟ ප්‍රදේශවාසීන් තුවාල ලබා සිටි පිරිස දඹුල්ල මූලික රෝහලට යවා  ඇති අතර තුවාලකරුවන් අතර කුඩා ළමුන් දෙදෙනෙකු සිටින බව ද පොලීසිය කියයි.


වෑන්  රථයේ  පැමිණි  පිරිසගේ  ඥාතිවරයෙකු විදේශ රටක මියගොස් එම රටේම ඔහු මිහිදන්   කිරීම සඳහා සිය   කැමැත්ත තානාපති කාර්යාලයට  ගොස් ලබාදී නැවත නිවෙස් බලා එමින් සිටියදී මෙම අනතුර  සිදු වී තිබේ.