මඩකලපු දේවස්ථානයේ මිය ගිය පුද්ගලයන්ගේ සිරුරු 22ක් ඥාතීන්ට භාරදෙයි


(වසන්ත චන්ද්‍රපාල)
 
මඩකලපුව සියොන් දේවාස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය 22 දෙදෙනෙකුගේ මළ සිරුරු හඳුනා ගැනීමෙන් පසු ඥාතීන්ට භාරදුන් බව මඩකලපුව මහා රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය කේ ගනේෂලිංගම් මහත්මිය පැවසුවාය.
 
මෙම බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන්ගේ මළ සිරුරු 25 ක් හඳුනා ගෙන තිබේ. 
 
තවත් පුද්ගලයෙකුගේ හිසක් සහ පාද හතරක් සහ කඳ කොටසක් මෘත ශරීරගාරයේ ඇති අතර එය තිදෙනෙකුගේ ශරීර කොටසක් විය හැකි බවට අනුමාන කරන අතර අධිකරණ වෛද්‍ය විශේෂඥයින්ගේ පරීක්ෂණවලින් පසුව එය තහවුරු කර ගන්නා බව ද ඇය පැවසුවාය.
 
මෙයට අමතරව මෙම බොම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ 56 දෙනෙකු ප්‍රතිකාර ලබන බවත් දැඩි සත්කාර ඒකකයේ හත්දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බවද සඳහන් කළාය.
 
ඊයේ  සවස වෙන විට මියගිය 25 දෙනෙකුගේ  අවසන් කටයුතු කිරීමට සැලසුම් කර තිබෙන බවද ඉතිරි අයගේ සිරුරු හෙට දවස තුළ භුමිදානය කිරීමට සැලසුම් කර ඇති අතර එම සියලු කටයුතු රජයේ වියදමින් සිදුකරන බවද මඩකලපුව දිසාපති එම්. උදයකුමාර මහතා පැවසීය. 
 
මේ අතර මරාගෙන මැරෙන බොම්බකරුගේ හිසද හමුවී තිබේ. ඔහු එම ස්ථානයට පැමිණෙන සී.සී.ටී.වී දර්ශනද ලැබී ඇති අතර එම තොරතුරු ඔස්සේ පරීක්ෂණ පවත්වන බව මඩකලපුව පොලීසියේ උසස් නිලධාරියෙක් පැවසීය.