භූතයා ගිලින අස්වැන්නට විසැඳුමක් සොයයි


(අංජුල මහික වීරරත්න)

ගොයම් කැපීම සඳහා බහුලව යොදා ගන්නා භූතයා සහ සුනාමි නැමැති සංයුක්ත කොළ මඬින යන්ත්‍රවලින් වී අස්වැන්නට නාස්තියක් වෙතියි ද එම නාස්තිය අවම කර ගැනීම සඳහා වැඩ පිළිවෙලක් සකසන ලෙස ගොවි සංවිධාන කෘෂිකර්ම අමාත්‍යාංශයට යෝජනා ඉදිරිපත් කර තිබේ.

මේ නිසා භූතයා සහ සුනාමි නම් වලින් හඳුන්වන සංයුක්ත කොළ මඬින යන්ත්‍ර උපයෝගී කර ගනිමින් ගොයම් කැපීමේ දී අස්වනු හානියක් සිදු වන්නේ ද යන්න සම්බන්ධව වහාම අධ්‍යයනයක් සිදු කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සමග පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මෙම උපදෙස් දුන්නේය.

එම යන්ත්‍ර වලින් පැසුණු ගොයම් කපන විට වී අස්වැන්නෙන් විශාල ප්‍රමාණයක් අපතේ යන බව වාර්තා වී තිබේ.

එමනිසා භූතයා හා සුනාමි යන්ත්‍ර උපයෝගී කර ගනිමින් අස්වනු නෙලන විට අස්වනු හානියක් නොවන්නට නම් ගොයම් කැපිය යුත්තේ කුමන අවස්ථාවේ ද යන්න සම්බන්ධව ගොවි ජනතාවට දැනුමක් ලබා දීමටත් පියවර ගත යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ වනතෙක් භූතයා හා සුනාමි වැනි සංයුක්ත කොළ මඬින යන්ත්‍ර උපයෝගී කර ගනිමින් අස්වනු නෙළීමේ දී සිදු විය හැකි අස්වනු නාස්තිය හා හානිය සම්බන්ධව කිසිදු අධ්‍යයනයක් සිදු කර නොමැත.