භාවිතයට නුසුදුසු තිරිඟුපිටි ඇසුරුම්කළ ගබඩාවක් වටලයි


(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
 
ගුල්ලන් පණුවන් සහ වෙනත් කෘමීන් ගහන ව පැවැති තිරිඟු පිටි තොගයක් කෘමිනාශක ස්ප්‍රේ  කිරීමකින් පසුව සල්ලඩ කොට නැවත වෙළඳ පලට යැවීමට ඇසුරුම් කරමින් තිබූ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ ගබඩාවක් සොයා ගැනීමට දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතාට අද (25) හැකිවී තිබේ.
 
ප්‍රදේශයේ පරිසර ගැටළුවක් පිළිබඳව සොයා බැලීම සඳහා නගරාධිපති ජාලිය ඕපාත මහතා හා ආර්ථික මධ්‍යස්ථානය පිටුපස  ගබඩා ප්‍රදේශයේ මෙම ගබඩාව පරීක්ෂාවට ලක්කර තිබේ.
 
නගරාධිපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු එම ස්ථානයට යනවිටත් කම්කරුවන් යොදා ගෙන ඉතා සූක්ෂම ලෙස කල් ඉකුත් වීමට තවත් මාස තුනක්  පමණ ඇති තිරිඟු පිටි ඇසුරුම් වලට ගුල්ලන් පණුවන් සහ කෘමීන් බෝවී තිරිඟු පිටි සල්ලඩ කොට පෙනේරයකින් හලා  කෘමිනාශක වර්ගයක් යොදා කෘමීන් මරා නැවතත් එම ඇසුරුම් කිරීම සිදු කරමින් සිටි බව ඔහු පැවසීය.
 
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට සුවිශාල තොග බඩු කඩයකට අයත් මෙම ගබඩාව තුළ මිනිස් පරිභෝජනයට නොසුදුසු තවත් ආහාර රැසක්ද සොයාගැනීමට හැකිවූ බව ඒ මහතා  සඳහන් කළේය.
 
ඉතා සූක්ෂම ලෙස  මිනිස් පරිභෝජනයට නුසුදුසු තිරිඟු පිටි මෙයාකාරයෙන් වෙළඳපොලට යැවීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන බවත් එම සිදු කළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නගර සභාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන් බව ද නගරාධිපතිවරයා සඳහන් කළේය.