(අංජුල මහික වීරරත්න)
පසුගිය රජයේ Smart Youth Night ප්‍රදර්ශන සහ සංගීත ප්‍රසංග මාලාවෙහි යෝජිත ප්‍රසංග 14න් ප්‍රසංග 2ක මූලික වියදම් සහ සංවිධාන කටයුතු සිදු කර ඇති නමුත්, ප්‍රසංග පවත්වා නොමැති බව විගණන විමසුමකදී හෙළි වී යැයි තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පැවසීය.
ඒ අනුව හැටන් සහ වැලිසර ප්‍රදේශවල ප්‍රසංග සඳහා මූලික වියදම් දරා ඇති නමුදු එම ප්‍රසංග පවත්වා නොමැති බවත්, එම ප්‍රසංග දෙකෙහි සංවිධාන කටයුතු වෙනුවෙන් රුපියල් 295,292 ක් වියදම් කර ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
හැටන් ප්‍රසංගයේ සංවිධාන කටයුතු වෙනුවෙන් රුපියල් 234,592 ක් සහ වැලිසර ප්‍රසංගයේ සංවිධාන කටයුතු වෙනුවෙන් රුපියල් 60,700 ක වියදමක් දරා ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය. දැඩි ආර්ථික අර්බුදයක් පැවති සමයක දී පසුගිය රජය Smart Youth Night ප්‍රදර්ශන සහ ප්‍රසංග මාලාව සඳහා මුදල් වියදම් කිරීම මතභේදාත්මක යැයි මෙම වසරේ ජනවාරි 6 වෙනිදා නිකුත් කරන ලද විගණන විමසුමකින් කරුණු ඉදිරිපත් කර ඇතැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ හෝමාගම දියගම ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණයේ දී පැවති මාධ්‍ය හමුවකදීය. මෙම ප්‍රදර්ශන හා ප්‍රසංග තරුණ සේවා සභාවේ විශේෂ ව්‍යාපෘති යෝජනාවක් ලෙස ඉදිරිපත් කර ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
එනමුත් සංගීත ප්‍රසංග අප්‍රේල් මාසයේ දී ආරම්භ කර කැබිනට් අනුමැතිය ලබාගෙන ඇත්තේ ජූලි මාසයේදී බවත්, මෙම විශේෂ ව්‍යාපෘතිය පිළිබඳව තරුණ සේවා සභාවට දන්වා ඇත්තේ කැබිනට් අනුමැතිය හිමි වී සතියකින් පසුව බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කරුණු අනාවරණය කළේය.
2030 වසර වන විට තරුණ තරුණියන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍ය නගා සිටුවීමේ සහ බෝ නොවන රෝග වැළඳීම තුනෙන් එකකින් වළක්වා ගැනීම ඉලක්ක කර ගනිමින් smart youth night ප්‍රදර්ශන හා සංගීත ප්‍රසංග මාලාව පවත්වා ඇති නමුත් ඒවා සාධාරණ හේතු ලෙස පිළිගත නොහැකි බව විගණන විමසුමේ දක්වා තිබේ.
මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත්, මෙම වංචාවට සම්බන්ධ සියලු පාර්ශවයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.