බොරැල්ල ඕඅයිසී අනතුරට ලක් කළ රියදුරාට ඇප


(මනෝප‍්‍රිය ගුණසේකර)

බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරකට ලක් කර පළා ගිය ඩිෆෙන්ඩර් රථයේ රියදුරා වශයෙන් කටයුතු කළ පුද්ගලයාට එරෙහි අධිචෝදනා පත‍්‍ර බාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු ප‍්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඔහු ඇප මත මුදාහැරීමට අද (5) නියම කළේය.

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතීඥ අජිත් පතිරණ මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් විත්තිකරු රුපියල් ලක්‍ෂ 2ක් වටිනා ශරීර ඇපයක් මත මුදා හැරීමට විනිසුරුවරයා නියම කළේය.

බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති සාගර සරත්චන්ද්‍ර මහතාගේ මරණය සිදුවී මාස 05ක කාලයක් ඇතුළත නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව පවරනු ලැබු නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී අධිකරණයෙන් නිකුත්කර තිබු සිතාසියකට අනුව විත්තිකාර ආර්.එම්. නවිඳු උමේෂ් රත්නායක නමැත්තා අධිකරණයේ පෙනී සිටියේය.

2019 පෙබරවාරී මස 24 වැනිදා හෝ ඊට ආසන්න දිනයක බම්බලපිටියේදී ඩබ්ලිව්.පී. එන්. ඉසෙඩ්. 9143 අංකය දරණ ඩිෆෙන්ඩර් ජීප් රථයේ රියදුරු ලෙස කටයුතු කරමින් එම රථය නොසැළකිලිමත් අන්දමින්, අධික වේගයෙන් පදවා අනතුරක් සිදුකර සාගර සරත්චන්ද්‍ර මහතාගේ මරණය සිදු කිරීමෙන් සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් සිදුකළ බවට විත්තිකරුට එරෙහිව චෝදනා නඟා ඇත.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරු අධිකරණයේ පෙනී සිටි අතර විත්තිකරුට එරෙහි අධිචෝදනා පත‍්‍රය විවෘත අධිකරණයේ දී ඔහුට බාරදුන්නේය.

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතීඥ අජිත් පතිරණ මහතා අධිකරණය අමතමින් අධිකරණයෙන් නිකුත් කළ සිතාසියකට අනුව තම සේවාදායකයා අධිකරණයේ පෙනී සිටින බවත් එලෙස පෙනී සිටින තම සේවාදායකයාට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා විත්තිකරු ඇපයක් මත මුදා හැරීමට විනිසුරුවරයා නියම කළ විනිසුරුවරයා මෙම නඩුව ලබන දෙසැම්බර් මස 19 වැනිදා යළි කැඳවීමට නියම කළේය.