බිරිඳ - දරු දෙදෙනා ඝාතනය කළ අයකුට මරණ දඬුවම


(මනෝප‍්‍රිය ගුණසේකර)
 
සිය බිරිඳ සහ කුඩා දරුවන් දෙදෙනා ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරු වූ පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද(07) මරණ දඬුවම නියම කළේය.
 
චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස මරණීය දඩුවම නියම වුයේ පෞද්ගලික ආයතනයක විධායක නිලධාරියකු වු, රත්මලාන කල්දේමුල්ල ගොළුමඩම හන්දියේ පදිංචිකරුවකු වු විජේමුණි මධුර මනරංග ද සිල්වා නමැත්තාටය.
 
පේ‍්‍රමයෙන් බැඳුණු වෙනත් තරුණියක විවාහ කරගැනීම සඳහා සිය බිරිඳගේ සහ අවුරුදු තුනක් වයසැති පුතාගේ ගෙල සිර කිරීමෙන්ද, මාසයක් වයසැති බිලිඳා ගිනි තැබීමෙන්ද ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරු වූ විත්තිකරුට එරෙහි සියලු චෝදනාවන් පැමිණිල්ල විසින් කිසිඳු සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කරමින්  විනිසුරුවරයා මරණ දඬුවම පැනවීය.
 
විත්ති කූඩුවේ සිට විත්තිකරු ඉල්ලූ පරිදිම කිසිදිනෙක පසුතැවීමක් නොවන ආකාරයට ඉතාම නිවැරදි ආකාරයට මෙම චෝදනාවන්ට විත්තිකරු වරදකරු බවට තීරණය කරන බව සඳහන් කළ විනිසුරුවරයා ජනාධිපතිවරයා නියම කරන දිනයක හා වේලාවක වැලිකඩ බන්ධනාගාරය තුළදී විත්තිකරුට මරණීය දණ්ඩනය පමුණුවන ලෙස නියම කළේය.
 
2012 දෙසැම්බර් මස 17 වැනිදා හෝ ඊට ආසන්න දිනයක මොරටුව ප‍්‍රදේශයේදී බිරිඳ සහ දරුවන් දෙදෙනා මරා දැමු බවට විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.
 
ඝාතනයට ලක්ව ඇත්තේ, ගුරුවරියක වු පිහිඹියගේ සචේතනා ස`දමාලි ප‍්‍රනාන්දු (36) නමැත්තිය, විජේමුණිගේ කුෂාන් සඳරුවන් ද සිල්වා හා විජේමුණිගේ ඉෂාන් භානුක ද සිල්වා නමැති පුතුන් දෙදෙනාය.
 
කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා හමුවේ දීර්ඝ වශයෙන් විභාග වූ මෙම නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් විත්තිකරුට මරණ දඬුවම නියම කළේය.
 
මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ යොහාන් අබේවික‍්‍රම මහතා සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා පෙනී සිටියහ.

(ඡායාරූප - චතුර එස්.කොඩිකාර)