බාලවයස්කාර දැරියකට අමානුෂික ලෙස පහර දුන් තිදෙනෙකු අත්අඩංගුවට


(නිකවැරටිය ප්‍රියානි මංගලිකා)

දහතුන් වියැති බාලවයස් දැරියකට අමානුෂික ලෙස පහර දුන් බවට ග්‍රාම නිලධාරිනියක් සහ දැරියගේ පියා සහ  ගැබිණි සුලු මව  කොටවෙහෙර. අලුත්ගම  ප්‍රදේශයේදී ඊයේ (03) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව කොටවෙහෙර පොලීසිය පවසයි.

ග්‍රාම නිලධාරිනිය කොටවෙහෙර  අලුත්ගම පදිංචි තැනැත්තියක් වන අතර ඇගේ සහෝදරිය සහ ඇගේ ස්වාමියාද ඔහුගේ දියණියද මෙම නිවසේ පදිංචියට පැමිණ සිටියදී මෙලෙස පහර කෑමට ලක්ව ඇති බවද, පොලීසිය සඳහන් කරයි.

මේ වන විට දැරිය වෛද්‍ය පරීක්ෂණ සඳහා නිකවැරටිය මූලික රෝහලට ඇතුලත් කර අැති බවද පොලීසිය පවසයි.

මෙදින දැරියට ගැබිණි  සුලු මව සහ ඇගේ සහෝදරිය වන ග්‍රාම නිලධාරිනිය පොලු වලින් අමානුෂික ලෙස පහර දී ඇති බවත්, මීට පෙරද පියා සහ සුලුමව අවස්ථා ගණනාවකදී මෙලෙස දැරියට පහර දී ඇති බවද පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවද  පොලීසිය සඳහන් කරයි.

සැකකාරියන්  දෙදෙනා සහ සැකකරු හෙට (05) දින නිකවැරටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවද පොලීසිය සඳහන් කරයි.

නිකවැරටිය කොට්ඨාශ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් චන්දන අබේසිංහ මහතාගේ උපදෙස් අනුව සහකාර පොලිස් අධිකාරී එල් අමරකෝන් මහතාගේ අධීක්ෂණයෙන්, ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කහඳවල මහතාගේ මෙහෙයවීමෙන් නිලධාරීන් කණ්ඩායමක් විසින් පරීක්ෂණ සිදුකෙරේ.