බාල වයස්කාර දැරියකට හදි කර පලාගිය තරුණයා අත්අඩංගුවට



(විනීතා එම් ගමගේ)

බස් රථයක දී 15 හැවිරිදි දැරියක මිතුරු කරගෙන, ඇය  රවටා කැඳවාගෙන ගොස් අපහරණය කර ඇයව ගැබිනියක කළ තරුණයෙකු ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

දැරියකගේ දරු ප්‍රසූතියක් පිළිබඳව රෝහලෙන් ලැබුණු පැමිණිල්ලක් අනුව කළ විමර්ශනයක දී පලාගොස් සිටි, 22 හැවිරිදි සැකකාර තරුණයා අත්අඩංගුවට ගත් බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා ලංකාදීපයට පැවැසීය.

විමර්ශනයේ දී තම පෙම්වතා පිළිබඳ කිසිදු තොරතුරක් කියන්නට මෙම බාල වයස්කාර තරුණිය දැන නොසිටි බව ද සභාපතිවරයා කීය. සැකකරු අත්අඩංගුවට ගත්තේ එකී තරුණිය වෙත දුන් දුරකතන ඇමතුම්වල අංක ඔස්සේ කළ පරීක්ෂණවලින් හෙළි වූ තොරතුරු අනුව යැයි ද හෙතෙම සඳහන් කළේය. ලද තොරතුරු ඔස්සේ සොයා බැලීමේ දී සැකකරු මුන්නේෂ්වරන් කෝවිල අසළ පලතුරු කඩයක  රැකියාව කරමින් සිටින බව තහවුරු වී ඇති අතර අත්අඩංගුවට ගැනීමට යාමේ දී ඔහු පලා ගොස් ඇතැයි කී සභාපතිවරයා වැඩිදුර විමර්ශනවලින් පසු ඔහු අත්අඩංගුවට ගත්තේ යැයි ද කියා සිටියේය.

පසුගිය වසරේ දිනෙක සිය දෙමව්පියන් සමග අමනාපව නිවසින් පිටව මහනුවර පිහිටි තම මාමාගේ නිවසට බස් රථයක නැගී යන අතරතුර මෙම තරුණයා හමුවී පෙම්සබඳතාවක් ඇති කරගෙන තිබේ. ඉන් මාසයකට පමණ පසු එකී තරුණයා ඇය දෙල්ගොඩ ප්‍රදේශයට ගෙන්වාගෙන අඹු-සැමියන් ලෙස ජීවත්වී ඇති අතර පසුව ඇය පිටකොටුව බස් නැවතුම්පළට ගෙනැවිත් ඇරලවා තිබේ.

පසුව ගැබිනියක වූ ඇය දරු ප්‍රසූතිය සඳහා රෝහල් ගත කිරීමෙන් පසු වෛද්‍යවරුන් කළ පැමිණිල්ලක් අනුව මේ සිද්ධියේ සුළ මුල හෙළි වී ඇතැයි ද සභාපතිවරයා කීය.

මෙවැනි වරදක් කරනු ලබන තැනැත්තෙකුට 1995 අංක 22 දරණ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ අංක 364 (1 වගන්තිය යටතේ ස්ත්‍රී දූෂණය වරද සඳහා අවුරුදු 7 ට නොඅඩු හා අවුරුදු 20 ට නොවැඩි බරපතල වැඩ සහිතව බන්ධනාගාරගත කිරීමක් මෙන්ම රුපියල් 20,000 නොඉක්මවන දඩයක් හා වින්දිත ළමයාට වන්දි මුදලක් ගෙවීමට ද වගන්ති අංක 354 යටතේ නීත්‍යානුකූල භාරකාරිත්වයෙන් අපහරණය කිරීමේ වරද සඳහා අවුරුදු 7 ක බරපතල වැඩ ඇතිව හෝ නැතිව බන්ධනාගාරගත කිරීමක් හා දඩයක් ගෙවීමට ද සිදුවන බව ද සභාපතිවරයා පෙන්වා දුන්නේය.

දරුවන් කෙරෙහි වැඩිහිටියන් වඩාත් විමසිලිමත් විය යුතු බවත් ඔවුන් යන එන තැන් ඇසුරු කරන පුද්ගලයින් ගැන සොයා බැලිය යුතු බවත් පෙන්වා දුන් විදානපතිරණ මහතා අනිවාර්ය අධ්‍යාපනය ලැබිය යුතු වයසේ දී ඒ සඳහා යොමු කරවීම අනිවාර්ය බවත් පැවැසීය.