බහු පක්ෂ ක්‍රමය රකින්න මුළු විපක්ෂයම එක්වෙනවා


 

(අංජුල මහික වීරරත්න)

බහු පක්ෂ ක්‍රමය ආරක්ෂා කර ගැනීම සඳහා මුළු විපක්ෂයම එක ගමනකට එකතු වී සිටින බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ආණ්ඩුව විපක්ෂයේ පක්ෂ නායකයන් දඩයම් කරනවා නම් ඊට එරෙහිව සියලු දෙනා එක්ව රොද බැඳ සිටින බවද රනිල් වික්‍රමසිංහ මහතා කීය.

හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයේ 79 වැනි සංවත්සර උත්සවය අමතමිනි.

විපක්ෂයේ පක්ෂ නායකයන් රැසකගේ සහභාගීත්වයෙන් කොළඹදී පැවති මෙම සංවත්සර උත්සවයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

විපක්ෂ නායකයින් නිශ්ශබ්ද කර  ඒකාධිපතිවාදයක් හදන්න යනවා. අපි මේකට මුහුණ දෙමු.විපක්ෂයේ නායකයන් අල්ලන්න යනවා නම් ඒකට විරුද්ධව අපි එකට ඉමු.අපි බය නැතුව ඔවුන් සමඟ ඉදිමු.ඒ අය හිතන්නේ අපි මේකට යටත් වේවි කියලා. ඒ නිසා අප මේ ව්‍යාපාරය ඉදිරියට ගෙන යා යුතුයි.

කවුරුදු 78ක් කලේ මොකක්ද කියා අහනවා.

අපි අධ්‍යාපනය සෞඛ්‍ය දියුණු කළ තත්ත්වය ගැන අමුතුවෙන් කිව යුතු නැහැ.අද විදුලි බලය නැත්තේ කොහේද? අද වරිච්චි බිත්ති තියෙන ගෙයක් තියෙනවද?

ඕන කෙනෙක්ට හම්බ කරන්න අප විවෘත ආර්ථිකය ගෙනාවා. ඕන තරම් උදාහරණ තියෙනවා.මගෙන් අහන්න එපා. වසන්ත සමරසිංහ ඇමති තුමාගෙන් අහන්න. අප ප්‍රභූ පන්තියට දේශපාලනය සීමා කළේ නැහැ.ජනාධිපති සර්වජන ඡන්දයෙන් තේරුණා.රණ සිංහ ප්‍රේමදාස ,මෛත්‍රීපාල  සිරිසේන, අනුර දිසානායක ජනාධිපති වුණා. ඒ ක්‍රමය හැදුවේ කවුද?

අපේ බහු පක්ෂ ක්‍රමය ආරක්ෂා කරන්න නම් අපි ඔක්කොම එකතු වෙන්න ඕන. මෙතැනින් ඉදිරියට යා යුතුයි. මේ රැස්වීමෙන් පස්සේ අපි විසිර යන්නේ නෑ. එකතුව යා යුතුයි. ඔක්කොම පක්ෂ එකතු වෙලා රට වටේම රැස්වීම් දාහක් තියන්න.එතන එකතු වෙන බලවේගය බලන්න.

මෙතනින් නවතින්න බැහැ.ඊළඟ පියවර ගත යුතුයි. අපි මේ ගමන යමු.එකට එකතු වෙමු.

(ඡායාරූප: සුමුදු හේවාවිතාරණ)