බඹරු ඇනීමෙන් වතුකම්කරු කාන්තාවෝ 55 ක් රෝහලේ


(රංජිත් රාජපක්ෂ)
 
බගවන්තලාව පොලිස් වසමට අයත් තේ වතු දෙකක දලු නෙළමින් සිටි වතු කම්කරුවන්ට බඹරු ඇනීමෙන් තුවාල ලැබූ කම්කරු කාන්තාවන් 55 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට අද (06)  ඇතුළත් කර ඇති බව  බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී ඒ.එස්.කේ ජයසුරිය මහතා පැවසීය.
 
බගවන්තලාව පොලිස් වසමට අයත් ලොයිනොන්, ලින්ෆොඩ් වතුයායේ සහ කර්කස්වොල් වතුයායේ කාන්තාවන්ට මෙසේ බඹරු ඇන ඇත.
 
ලොයිනොන් ලින්ෆොඩ් වත්තේ ගසක බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිස්සී කම්කරුවන් බඹරු ඇනීම හේතුවෙන් දිවයද්දී තේ පඳුරක බැඳ තිබූ බඹර කූඩුවක්ද ඇවිස්සී ඇති අතර, කර්කස්වොල් හෙල්බොඩ කොටසේ තේ පඳුරක් මත බැඳ තිබූ බඹර කූඩුවක් කම්කරු කාන්තාවකගේ පයට පෑගීම නිසා බඹරු ඇවිස්සී ඇන ඇතැයි කාන්තාවෝ පැවසූහ.
 
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පසුගිය දිනවල වට වර්ෂාව හේතුවෙන් බඹරු විශාල වශයෙන් තේ පඳුරුවල සහ උස් ගත්වල කූඩු බැඳ ඇතැයිද, සුළු ශබ්දයකින් පවා ඇවිස්සෙන බවද ඔවුහු කීහ.
 
බිඟු සම්පත සුරැකීමේ සංවිධානයේ සහයෝගය ලබාගෙන බඹර කූඩු විනාශ නොකර ඉවත් කිරීමට වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස බගවන්තලාව ප්‍රදේශයේ සියලුම වතු පාලන අධිකාරිවරුන් වෙත දැනුම් දී ඇති බව බගවන්තලාව පොලිසියේ ස්ථානධිපති පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.