බන්ධනාගාර තුනකට එස්ටීඑෆ් ආරක්ෂාව


 

සියලුම බන්ධනාගාර  සඳහා පොලිස් විශේෂ කාර්ය බළකා ආරක්ෂාව ලබා දීමේ වැඩසටහන යටතේ  තවත් බන්ධනාගාර තුනකට පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂාව ලබා දීමට  කටයුතු කර  ඇතැයි  බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පවසයි.


මෙහි පළමු අදියර වශයෙන්  මේ වන විට අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට ආරක්ෂාව ලබා දී ඇති අතර  අද (25) සහ හෙට (26) දිනයන්හිදී  තවත් බන්ධනාගාර තුනක පිටත ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂාව ලබා දීමට  කටයුතු කර  ඇතැයි  අමාත්‍යංශය පවසයි.


ඒ අනුව  මහර, වැලිකඩ හා  කොළඹ රිමාන්ඩ්  යන බන්ධනාගාරවල  පිටත ආරක්ෂාව සඳහා  මෙලෙස පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට තීරණය කර තිබේ.


එම බන්ධනාගාරවල පිටත ආරක්ෂාව සහ පිටතින් පැමිණෙන පුද්ගලයින් පරීක්ෂා කිරීමේ කටයුතු  ඔවුන් විසින් සිදු කරනු ලබන අතර  සෙසු බන්ධනාගාර සඳහා ද  පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂාව ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යංශය සඳහන් කළේය.

 
කෙසේ නමුත් අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා සිටින පොලිස් විශේෂ බලකා නිලධාරීන් ඉවත් කරන ලෙස ඉල්ලමින්  රැඳවියෝ උද්ඝෝෂණයක්ද කළහ.

(36698)