බන්ධනාගාර තාප්පයට උඩින් ආ පාර්සල් 14ක තහනම් භාණ්ඩ ගොඩක්


(නිමන්ති රණසිංහ)

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ සීමා තාප්පයට පිටතින් බන්ධනාගාරයට විසිකරන ලද පාර්සල් 14 තිබී හෙරොයින් යැයි සැක කළ හැකි පැකට් 04ක්, සිගරැට් 10ක් සහ ජංගම දුරකතන 06ක් ඇතුළු තහනම් ද්‍රව්‍ය රාශියක් බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි බන්ධනාගාර කොමසාරිස් (පාලක) සහ මාධ්‍ය ප‍්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි.

වැලිකඩ කාන්තා අංශයේ එක් පැත්තක ඇති බොරැල්ල වනාතමුල්ල ප‍්‍රදේශයේ සීමා තාප්පයට  ඉහළින් මෙම ද්‍රව්‍ය සහිත පාර්සල් විසි කර ඇති අතර ඒවා බන්ධනාගාරයට ඉහලින් සවිකර ඇති දැල් ආවරණය මතට වැටී තිබියදී බන්ධනාගාර නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇති බව ද ඔහු සඳහන් කළේය.

හෙරොයින් යැයි සැක කළ හැකි පැකට් 04 ක්, ලයිටර් 04ක්, සිගරැට් පැකැට්ටුවක දමා තිබූ සිගරැට් 10ක්, බෙහෙත් කරල් 10ක්, , නොකියා වර්ගයේ කළු පැහැති ජංගම දුරකතන 06ක්, චාජර් 5ක්, දුරකතන බැටරි 08ක්, ජංගම දුරකතන සිම්කාඞ් පත් 04ක් සහ හෑන්ඞ්ෆී‍්‍ර 01ක් මෙම පාර්සල් 14 තුළ තිබී අත්අඩංගුවට ගෙන ඇතැයි ඔහු හෙතෙම පැවසීය.