බදියුදීන් යළි රිමාන්ඩ්


(නිමන්ති රණසිංහ)

මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සුම් තුවාල සහිතව ජූඩ් කුමාර් ඉශාලිනි දැරිය  මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ලබන 14 දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අද 01 නියෝග කලා ය.

මෙම සැකකරුට ඇප ලබා දුනහොත් විමර්ශකයින්ට සහ සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ල කළ හැකි යන පදනම මත ඇප ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරිය සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය.

එසේම, ලබන 14 වෙනිදා සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් ද නිකුත් කළාය.

මෙම සිද්ධියට සම්බන්ධ නඩුව අද 01 මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.

පවතින කොරෝනා තත්වය හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ඇමති රිෂාඩ් බදුයුදීන් මහතා අධිකරණය හමුවට ඉදිරිපත් නොකරන බව සඳහන් කරමින් බන්ධනාගාරය, අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කළේය.