බටුවත්තේ දී බසයක් පෙරළේ


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

බාල දක්ෂ කඳවුරකට සහභාගීවී යළි නිවෙස් බලා යමින් සිටි පාසල් සිසු සිසුවියන් ඔවුන්ගේ මව්පියන් සහ පාසල් ගුරුවරියන් රැගත්  පෞද්ගලික බස් රථයක තිරිංග හදිසියේ අක්‍රියවීමෙන් රාගම බටුවත්ත දුම්රිය හරස් මාර්ගයේදී ධාවනය වෙමින් තිබූ දුම්රියක ගැටී සිදුවීමට ගිය මහා අනතුරක් එම බස් රථයේ රියදුරාගේ දක්ෂතාවය හේතුවෙන්  වැළකී ගිය බව පොලිසිය කියයි.

තිරිංග හදිසියේ අක්‍රිය වීම නිසා රිය දුරුගේ පාලනයෙන් ගිලිහී ඉදිරියට ඇදී යමින් තිබූ බස් රථය ගැමුණු මාවතට හරවා ගැනීමට සමත් වී ඇති අතර එම අවස්ථාවේ නවතා තිබූ ත්‍රී රෝද රථයකද ගැටී බස් රථය පෙරළී යාම නිසා සිසු සිසුවියන් 12 දෙනකු සුළු තුවාල ලබා උතුරු කොළඹ රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව පොලිස් ආරංචි මාර්ගවලින් දැනගැනීමට ඇත.

බස් රථය ඉදිරියට ධාවනය වූයේ නම් දුම්රියේ ගැටීමට බෙහෙවින් ඉඩ තිබූ බව සිද්ධිය දුටුවෝ පවසති.