(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් බාර ගත්තේ පෝලිම් තිබූ රටක් යැයි කියා ජනතාවගේ සමච්චලයට ලක් නොවන ලෙස කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී අද ඉල්ලා සිටියේය.
"76 වසරක කාරණාව සම්බන්ධයෙන් ඇමතිවරු වගේම මේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුත් දිගින් දිගටම කියවනවා.දැන් 77 වෙනි අවුරුද්ද ගැන කතා කරන්නේ නැත්තේ ඇයි?ඔබලා දේශපාලන ජීවිතය පටන් ගත්ත දා ඉඳලම කතා කළේ පෙර කිව්ව කාරණය ගැන.එදා විපක්ෂයේ ඉඳගෙන නොයෙක් විවේචන ඉදිරිපත් කළා.ඒ අය රට බාර ගනිද්දී තෙල් පෝලිම් ගෑස් පෝලිම් තිබුණ බව ආණ්ඩුවේ උදවිය පාර්ලිමේන්තුව අමතමින් කිව්වා.මේ කතාව ඇත්තද? තමුන්නාන්සේලා ජනතාවගේ බුද්ධියට සමච්චල් කරනවද?මේක බොරුවෙන් යන්න පුළුවන් කාරණයක් නෙවෙයි.ආණ්ඩුවේ ඉන්න මහාචාර්ය ඇමතිලා පවා මේ කාරණය කියනවා.කැබිනට් ඇමතිවරයෙක් විහිළුවට සමච්චලයට ලක් වෙන්න නරකයි.
තමුන්නාන්සේලා බාර ගත්තෙ එක ස්ථාවරත්වයකට ඇවිත් තිබූ රටක්. අප ඒක පිළිගන්නන ඕන. දැන් ඔබලා වැඩ කරන්නේ ඔබලාට ඡන්දය දුන් ජනතාවගේ ගෞරවය රැකෙන විදියටදැයි අලවතුවල මහතා ප්‍රශ්න කළේය.

