
(ක.ග. කරුණාරත්න)
ගොවි ජනතාවට බලපාන ගැටලු සම්බන්‍ධයෙන් සාකච්ජා කිරීම සඳහා නව රජයේ කෘෂිකර්ම ඇමැතිවරයා දිවයිනේ ගොවි නායකයින් කොළඹට කැඳවා ඇති නමුත් තමන්ට ඒ පිළිබඳව දැනුම්දීමක් කර නැතැයි පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි නායකයින් අද (25) පැවැති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමට දැනුම් දුන්නේය.
එම නිසා එවැනි වැදගත් රැස්වීමකට දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව නියෝජනය කරමින් ගොවි සංවිධානවල ප්‍රධානීන් ලෙස තමන්ට අවස්ථාවක් නොලැබීයාම බලවත් අසාධාරණයක් බවද ඔවුහු කියා සිටියහ.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රය ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති සහ පොලොන්නරුව දිස්ත්‍රික් ඒකාබද්ධ ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති ජගත් අරුණ කීර්ති මහතා මේ රටේ කෘෂිකර්මාන්තයටත් ගොවි ජනතාවටත් බලපාන ගැටලු ප්‍රශ්න සම්බන්ධයෙන් කෘෂිකර්ම ඇමැතිවරයා සමඟ කෙරෙන සාකච්ජාව ඉතා වැදගත් යැයි තමන් විශ්වාස කරන බවත් නමුත් ඒ අවස්ථාව දැන් මඟ හැරී ගොස් ඇති බවද කීවේය.
පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී මෙම දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේ මුලසුන හෙබැවූ අතිරේක දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ.ඩබ්.වනසිංහ මහතා එහිදී පිළිතුරු දෙමින් කියාසිටියේ තමන් එවැනි රැස්වීමක් සම්බන්ධයෙන් දැනුම්වත් වී නොසිටි බවයි.
එම නිසා ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවද ඒ මහතා කීය.
පොලොන්නරුව නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ආර්.පී. උපාලි මහතා ද එහිදී කියා සිටියේ අද දිනයේ කොළඹ දී පැවැත්වෙන එවැනි රැස්විමක් ගැන දැන නොසිටි බවයි. ඒ පිළිබඳව තමන්ට ද කිසිවක් කීමට නොහැකි යැයි ඒ මහතාද කීවේය.

