පොළොන්නරු - මඩකළපුව මාර්ගය ගල්ලෑල්ලෙන් යටවෙයි


(නිමල් ජයරත්න)

පොළොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය ගල්ලෑල්ල ප්‍රදේශයෙන් අඩි දෙකක් පමණ ගංවතුරෙන් යටවීමත් සමග අද (27) අලුයම සිට එම මාර්ගය වසා දැමීමට පොළොන්නරුව ආපදා කළමනාකරණ ඒකකය කටයුතු කර තිබේ.

මහවැලි ගගේ  මනම්පිටිය ප්‍රදේශය  පිටාර ගැලීම හේතුවෙන් මනම්පිටිය ගල්ලෑල්ල අතර ස්ථාන කිහිපයකින් අඩි දෙක බැගින්  ජලයෙන් යටවී ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ ඒ.ජේ.ඒ අබේනායක මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.

මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් සුංගාවිල, සෝමාවතී ප්‍රධාන මාර්ගයද සම්පූර්ණ වසා දැමීමට ආපදා කළමනාකරණ අංශය පියවර ගෙන ඇත.

මගී ජනතාවගේ ප්‍රවාහන පහසුවට මනම්පිටිය කදුරුවෙල අතර විශේෂ දුම්රියක් යොදවා ඇති අතර දුම්රිය ස්ථානයේ මේ වන විට තදබදයක්ද පවතී.