පොලිසියේ යකා නැටූ ජාජබ ප්‍රා.මන්ත්‍රිට ඇප


(උපාලි ආනන්ද සහ නිමල් ජයරත්න)

හිඟුරක්ගොඩ පොලිසිය තුළදී පොලිස් නිලධාරින්ට බැණ තර්ජනය කරමින් කලබලකාරී ලෙස හැසිරුණැයි කියන හිඟුරක්ගොඩ ජාතික ජනබලවේග ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි ලෙසට හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් සෙව්වන්දි සොයිසා මෙනෙවිය අද (5) නියෝග කළාය.

මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවේ කේ.ඩබ්ලිව්.එස්. සමන් උදය කුමාර නමැත්තෙකි.

ඇප නියම කරමින් සාක්කිකරුවන්ට බලපෑම් නොකරන ලෙසත් විමර්ශනවලට සහා දෙන්නැයි ද සැකකරුට නියම කළ මහේස්ත්‍රාත්වරිය විමර්ශනවල ප්‍රගතිය ඇතුළත් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි පොලිසියට දැනුම් දුන්නේය.මෙම මස 27 වැනි දිය යළි අධිකරණයේ පෙනී සිටින්නැයි ද සැකකාර ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයාට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය .

විදුලි බිල් නොගෙවීම මත සැකකාර මන්ත්‍රීවරයාගේ සොහොයුරාගේ නිවසේ විදුලිය විසන්ධි කිරීමට ආ විදුලි බල මණ්ඩලයේ සේවකයන් දෙදෙනකුට තර්ජනය කර ඔවුන්ගේ රාජකාරියට බාධා කරමින් නිලධාරීන් පැමිණි යතුරු පැදියට පහරදී අනර්ථයක් සිදු කිරීමේ චෝදනාවට මන්ත්‍රීවරයාගේ සොහොයුරා හිඟුරක්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

විදුලි බල මණ්ඩලයේ සේවකයන් දෙදෙනා මේ සම්බන්ධයෙන් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව හිඟුරක්ගොඩ ‍පොලිසිය අධිකරණයට දැන්වීය.

අත්අඩංගුවට ගත් සිය සොයුරා බැලීමට පොලිසියට පැමිණි ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයා ඊයේ (04) වැනි පොලිසියට පැමිණ, සොයුරා නිදහස් කරන ලෙසට ඉල්ලා පොලිස් නිලධාරීන්ට තර්ජනය කර සාපරාදී බලහත්කාරයේ පෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුව මන්ත්‍රීවරයා ද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.