(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විෂමාචාර සහ ධූරයේ බලතල අනිසි ලෙස භාවිත කරන ලදැයි කියන චෝදනා සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ත්‍රිපුද්ගල කමිටුව හමුවේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (19) පස්වරුවේ පළමුවරට පෙනී සිටියේය.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නීතිඥ සංජය වීරවික්‍රම මහතාද සමග එම කමිටුව හමුවේ මෙසේ පෙනී සිටියේ ඉන් කෙරුණු දැනුම්දීමක් අනුවය.
මෙහිදී පොලිස්පතිවරයා ඉදිරිපත් කළ මූලික විරෝධතා කමිටුව ප්‍රතික්ෂේප කළේය.
කමිටුව මුලින්ම චෝදනා විසිතුනකින් සමන්විත චෝදනා පත්‍රය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට භාර දුන්නේය. වග උත්තර කාර පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආර් එස් වීරවික්‍රම මහතා මූලික විරෝධතා තුනක් සහ ඉල්ලීම් දෙකක් ඉදිරිපත් කළේය.
නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පරීක්ෂණ කමිටුවට සහභාගි වූ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රජිත පෙරේරා යන මහත්වරු ඒ සම්බන්ධයෙන් සිය විරෝධතාවය පළ කළහ.
සියලු කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුතු පරීක්‍ෂණ කමිටුව වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු මූලික විරෝධතා සියල්ල නිෂ්ප්‍රභ කළේය.
එසේම විමර්ශන කටයුතු ඉදිරියට ගෙන යෑමටද එහිදී කමිටුව තීරණය කළේය.
පොලිස්පතිවරයා පැය හතරකට ආසන්න කාලයක් එම කමිටුව හමුවේ පෙනී සිටිමින් කමිටු සාමාජිකයන්ගේ ප්‍රශ්න වලට උත්තර ලබා දුන්නේය.
කමිටුව ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ලබන 28 වැනිදා පස්වරු 2.00ට පාර්ලිමේන්තු කාරක සභා කාමර 8හිදී නැවත රැස්වීමට නියමිතය.
පොලිස්පතිවරයාට එරෙහි චෝදනා විමර්ශන කිරීම සඳහා මෙම ත්‍රිපුද්ගල කමිටුව පත්කෙරුණේ පාර්ලිමේන්තුවේ සම්මත කෙරුණු යෝජනාවක් අනුවය.
මෙම ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව කමිටුව විසින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට නුදුරේදී බාර දෙනු ලැබීමට නියමිතය. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නිරපීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන්නේ එම වාර්තාවේ කරුණු සැලකිල්ලට ගැනීමෙන් අනතුරුවය.