පොලිස් වෙස් ගෙන මං කොල්ල කෑ අයෙක් අත්අඩංගුවට


(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ බිමල් ශ්‍යාමන්)

පොලිස් නිලධාරියකු බව පවසමින් මහ මග ගමන් ගන්නා පුද්ගලයින් පරික්ෂා කිරීමේ මුවාවෙන් , එක් ලක්ෂ තිස් දහසක් වටිනා රන්  කොපුවක් , හා රුපියල් පනස් දහසක මුදලක්, අවස්ථා හතරකදී කොල්ලකා පළාගිය පුද්ගලයෙකු,හෙරොයින් ග්‍රෑම් හතරක් සමඟ අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලීසිය පවසයි.

මෙම ජාවාරම සඳහා මහමග තිබි, අහුලාගත් , පොලිස් නිලධාරියකුගේ රාජකාරි හැඳුනුම්පතක් භාවිතා කර ඇතැයි ද පැවසේ .

සැකකරු පිළියන්දල , බෝකුන්දර  , වට මාවත , හා සුවාරපොල යන ප්‍රදේශවලින් මෙසේ  කොල්ලකෑම් සිදුකර තිබූ අතර   ඒ පිළිබඳව  පොලිසියට පැමිණිලි හතරක් ලැබී තිබුණි .

ඒ අනුව කොල්ලකෑම් සිදුකළ ස්ථාන අසල  සවිකර තිබූ ආරක්ෂිත කැමරා පද්ධති පරීක්ෂා කිරීමේදී, අනාවරණය කරගත් තොරතුරකට අනුව  කොල්ලකෑම සඳහා භාවිතා කළ බවට සැකකෙරෙන යතුරු පැදිය , පිලියන්දල නගරය හරහා යමින්  සිටියදී 18  දා දහවල් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුව අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී , රුපියල් එක් ලක්ෂ තිස් දහසක් වටිනා, රන් කොපුව පොලිස් භාරයට ගත් අතර අවස්ථා  කීපයකදී කොල්ල කන ලද රුපියල් 50,000 මුදලින් හෙරොයින් පානය කර ඇතැයි පැවසේ .

ඒ අනුව කොල්ලකෑම සඳහා භාවිතා කළ, පල්සර් වර්ගයේ යතුරු පැදියක් , සම්පූර්ණ මුහුණු ආවරණ හිස්වැසුමක්, පොලිස් නිලධාරියකුගේ  රාජකාරිය හැඳුනුම්පතක් ,  හෙරොයින් ග්‍රෑම් 4 ,පොලිස් භාරයට ගත් බව කියයි .

පසුව සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී  අනාවරණය වී ඇත්තේ , කොරෝනා වසංගතය හේතුවෙන් හෙරොයින් පානය කිරීමට මුදල් නොමැති නිසා මහමග තිබී අහුලාගත් පොලිස් රාජකාරි  හැඳුනුම්පත , මහ මග ගමන් ගන්නා පුද්ගලයින්ට පෙන්වා ,බිය ගන්වා, ඔවුන් සන්තකයේ ඇති රන් භාණ්ඩ හා මුදල් කොල්ල කා පළා ගොස් එම මුදල් වැය කොට හෙරොයින් පානය කළ බවයි.

ඒ අනුව අත්අඩංගුවට ගත් පිළියන්දල වෑවල  ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි සැකකරු කැස්බෑව අධිකරණය ට ඉදිරිපත් කිරීමට නියමිතය .