පූජිතගේ දිවුරුම් ප‍්‍රකාශය ඉල්ලා අස්කර නොගන්නා බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි


(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

නීතිපතිවරයා , ජනාධිපතිවරයා සහ බුද්ධි අංශ ප‍්‍රධානි එක්ව තමන්ට එරෙහිව කුමන්ත‍්‍රණය කරනවා යැයි සඳහන් කරමින් පූජිත් ජයසුන්දර මහතා ගොනු කර ඇති දිවුරුම් ප‍්‍රකාශ ඉල්ලා අස් කර නොගන්නා බව ඒ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ විරාන් කොරයා මහතා අද (05) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

නීතීඥ විරාන් කොරයා මහතා මෙම දැනුම් දී සිදු කරනු ලැබුවේ පාස්කු ඉරුදින එල්ල කළ ත‍්‍රස්ත ප‍්‍රහාරය වළක්වා ගැනීමට ක‍්‍රියා නොකිරීම තුළින් මූලික අයිතිවාසිකම් කඩ කළැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම්වරයාට සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ යළි සලකා බැලූ අවස්ථාවේදීය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ,  ප‍්‍රියන්ත ජයවර්ධන, ප‍්‍රසන්න ජයවර්ධන, එල් .ටී. බී දෙහිදෙණිය සහ මුර්දු ප‍්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් යුතු සත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් 12 සළකා බැලිණි.

පාස්කු දින ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට අදාලව , අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා තමා සම්බන්ධයෙන් අසත්‍ය , පදනම් විරහිත සහ අපරාධ චෝදනා එල්ල කරමින් දිවුරුම් ප‍්‍රකාශයක් ඉදිරිපත් කර ඇති බවත් , එය  වහා ඉවත් කිරීමට නියෝග කරන්නැයි නීතිපති , ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා ඊයේ (04) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විශේෂ ඉල්ලීමක් කරන ලදී.

මෙම දිවුරුම් ප‍්‍රකාශය පිළිබඳ විරෝධතාව ඊයේ (04) හත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලූ අවස්ථාවේදී අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ විරාන් කොරයා මහතා කියා සිටියේ ජයසුන්දර මහතා අධිකරණයට ඉදිරිපත් කර ඇති දිවුරුම් ප‍්‍රකාශය ඉල්ලා අස්කර නොගන්නා බවත් , එය සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බවත් , ඒ පිළිබඳව තම සේවාදායකයා ගෙන් උපදෙස් ලබා ගැනීමට කල් අවශ්‍ය බවත් කියා සිටියේය.

ඒ අනුව ඒ පිළිබඳව සලකා බැලීම සඳහා මේ මස 25 සහ 26 වැනි දිනට කල් තැබිණි.

අද  (05) නීතිපති සිය විරෝධතාව පිළිබඳ ලිඛිත දේශන ශ්‍රේෂ්ඨාධිකරණයට සහ පූජිත් ජයසුන්දර මහතාගේ නීතීඥවරයාට බාර දුන්නේය.

ශ්‍රේෂ්ඨාධිකරණ රීති 51 උල්ලංඝනය කරමින් , තමා ඇතුළු වගකිවයුතු පුද්ගලයින්ට අපරාධ චෝදනා එල්ල කරමින් මෙම දිවුරුම් ප‍්‍රකාශය ඉදිරිපත් කර තිබෙන බව පෙන්වා දුන් නීතිපතිවරයා ඊයේ (04) විවෘත අධිකරණය හමුවේ කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණය දේශපාලන වේදිකාවක් නොවන බවය.

එම චෝදනා අපරාධමය ස්වරූපයේ චෝදනා යැයිද නීතිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පතිවරයා විසින් ඉදිරිපත් කරඇති දිවුරුම් ප‍්‍රකාශයෙන් තමන් ජනාධිපති හා බුද්ධි අංශ ප‍්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා සමඟ හවුල් වී බොරු නඩුවක් ගොනු කර තමා එම තනතුරෙන් ඉවත් කිරීමේ කුමන්ත‍්‍රණයක් සිදු කරන බව සඳහන් කර ඇතැයිද නීතිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

අදාළ දිවුරුම් ප‍්‍රකාශයේ සඳහන් එම චෝදනා අසත්‍ය බවත් , පදනම් විරහිත සහ ද්වේෂ සහගත එකක් යැයි ද හෙතෙම කීය.

තමන් අපක්ෂපාතී , ස්වාධීන නිලධාරියෙක් යැයි නීතිපති විවෘත අධිකරණය හමුවේ කියා සිටියේය.

මෙම දිවුරුම් ප‍්‍රකාශය සැකසීමට නීති උපදෙස් දුන් නීතීඥ විරාන් කොරයා මහතාට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බවත් , මේ සම්බන්ධයෙන් තමා විරෝධතා දක්වන්නේ යැයිද  නීතිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.