(නිමල කොඩිතුවක්කු)
පළාත් පාලන මැතිවරණයේදී විපක්ෂයට බහුතරය ලබා දී ඇති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකඟතාවය පළ කරනු ලැබීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී අද (19) පැවති සාකච්ඡාවකදී එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය මෙම එකගතාවය පළ කරනු ලැබීය.
එහිදී සමග ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් නීතිඥ තලතා අතුකෝරල යන මහත්ම මහත්මීන් මේ සඳහා වන ඒකාබද්ධ නිවේදනයකටද අත්සන් තැබූහ.
විපක්ෂයේ අනෙකුත් පාර්ශ්වයන් සමග එක්ව මෙම සභාවල බලය පිහිටුවීම සඳහා වන එකඟතාවයකටද එහිදී පක්ෂ දෙකේ මහා ලේකම්වරුන් එළඹින.
මෙම හමුව සඳහා එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන, නියෝජනායක රුවන් විජයවර්ධන, ජාතික සංවිධායක සාගල රත්නායක, සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලක්ෂ්මන් කිරිඇල්ල, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.