පිළිකා රෝහලේ දරැවන්ගෙ බෙහෙත් හිගයි


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මහරගම අපේක්ෂා රෝහලේ දරුවන්ගේ ඖෂධවල හිඟයක් තිබෙන බව මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රීනි නීතිඥ  චමින්ද්‍රාණි කිරිඇල්ල මහත්මිය පාර්ලිමේන්තුවේදී ඊයේ(24)පැවසුවාය

අපේක්ෂා රෝහල ඇතුළු දිවයිනේ රෝහල් රැසක ඖෂධ හිඟයක් ඇතැයිද ඇය කීවාය.

ඇය මෙසේ පැවසුවේ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාට ප්‍රශ්නයක් යොමු කරමිනි.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා පැවසුවේ  මහරගම අපේක්ෂා රෝහලේ ඖෂධ ලොකු හිඟයක් නැති බවයි.

සමහර ඖෂධ හිඟ වුවත් දේශීයව  මිලදී ගැනීමටරෝහල්  අධ්‍යක්ෂවරයාට මුදල් සහ  අවසරය  ලබා දී ඇති බවද ඔහු සඳහන් කළේය.

සමහර බෙහෙත් පොදුවේ  නොදෙන බවත් ඒවා ලබාදෙන්නේ රෝගියාගේ නමට  බවත්  හෙතෙම  පැවසීය.

නැති බෙහෙත් පවා ලබා ගැනීමට සුදුසු ක්‍රමයක් සකස් කර ඇතැයිද   නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය

දේශීය ඖෂධ ලියාපදිංචි කිරීමේදී ප්‍රමාදයක් ඇතිවී තිබෙනවා.  දේශීය ඖෂධ නිෂ්පාදකයන්ට මෙය  ලොකු ප්‍රශ්නයක්.

හංසක විජේමුණි මහතා:

දේශීය නිෂ්පාදකයන් වෙනුවෙන් ප්‍රමුඛතාවන් තීරුවක් තියෙනවා. යම් අයදුම්පතක්  අනුමත කරන්න යම් කාලයක් ගතවෙනවා. දින තුන් සියය තමයි ලෝකයේ බොහෝ රටවල තියෙන්නේ. අපි ඒ කාලය මෙහාට ගන්න කටයුතු කරනවා. දේශීය නිෂ්පාදකයන් සම්බන්ධයෙන් දින පැනපු ලේඛනයක් නෑ.