
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වෙළඳපොළේ මිලට වඩා අඩුවෙන් විදේශ රටවලින් සුඛෝපභෝගී වාහන ගෙන්වා දෙන බව පවසා රුපියල් කෝටි ගණනක මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් වරෙන්තු රැසක් ලැබූ පුද්ගලයෙකු බත්තරමුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව හෝමාගම විශේෂ අපරාධ විමර්ශන අංශය කියයි.
අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙන්ම මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශයේ පැමිණිලි ගණනාවක් ඇති අතර ඒ සම්බන්ධයෙන් සැකකරුට අධිකරණ කිහිපයකින් විවෘත වරෙන්තු පවා නිකුත් කර ඇතැයි පොලිසිය කියයි.
මාලඹේ ප්‍රදේශයේ පුද්ගලයෙකුට සුඛෝපභෝගී මෝටර් රථයක් ආනයනය කර දෙන බව පවසා රුපියල් 41, 80,000ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන්, කඩුවෙල අධිකරණයේ හෝමාගම විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් ගොනුකළ නඩුවකට සැකකරු පෙනී සිට නැත. මේ හේතුවෙන් සැකකරු නොමැතිව නඩුව විභාග කළ අධිකරණය සැකකරුට වසර 2 ක සිර දඬුවමක් සහ පැමිණිලිකරුට ලක්ෂ 10 ක වන්දි මුදලක් ගෙවන ලෙස ඉකුත් මාර්තු මාසයේ 12 වැනි දින නියෝග කර තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

