පැය 3ක විදුලි කප්පාදුව තව දින තුනකට දීර්ඝ වෙයි


(යොහාන් භාසුර)

විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා දැනට ක්‍රියාත්මක පැය 3 ක විදුලි කප්පාදුව හෙට (6) සිට 8 වැනිදා දක්වා ඉදිරි දින තුනකට දීර්ඝ කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (5) පස්වරුවේ පැවසීය.

ඒ අනුව 6 වැනිදා සිට 8 වැනිදා දක්වා පැය 3 ක්  විදුලිය කප්පාදු කරන බවත් ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට දිවා කාලයේ පැයයි මිනිත්තු 40 ක් ද, රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 20 ක් ද, ලෙස විදුලිය කප්පාදු කරන බවත් රත්නායක මහතා කීය.

කොළඹ නගර ද අයත් ‘සීසී’ කාණ්ඩයට පෙරවරු 6.00 සිට පෙරවරු 8.30 දක්වා පැය 2 යි විනාඩි 30 ක් ද, එම්,එන්,ඕ,එක්ස්,වයි සහ ඉසෙඩ් යන කළාපවලට අළුයම 5.00 සිට පෙරවරු 8.00 දක්වා පැය 3 ක් ද, විදුලි කප්පාදු කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා වැඩ දුරටත් කීය.