පැමිණිල්ල සටහන් නොකළ එස්අයි ගේ වැඩ තහනම්


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පැමිණිල්ලක් සටහන් නොකලැයි  අවිස්සාවේල්ල පොලිසියේ අපරාධ අංශයේ  උප පොලිස් පරීක්ෂකවරයෙකු  වැඩ තහනමට ලක් කළ බව  සීතාවක කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියකු පැවැසීය

රුපියල් ලක්ෂ තුනක මුදලක් බලෙන් ඉල්ලා තම නිවසේ  ලියුම් පෙට්ටිය පුද්ගලයකු  ලිපියක් දමා ඇති බව පවසමින් අවිස්සාවේල්ල නගරයේ ව්‍යාපාරිකයකු පැමිණිල්ලක් කිරීම සඳහා ඉකුත් 19 වැනි දින පොලිසියට පැමිණ තිබූ බව එම නිලධාරියා කීය

ව්‍යාපාරිකයා ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා විවිධ පැමිණිලි අංශය වෙත ගිය අවස්ථාවේදී එහි නිලධාරියෙකු ව්‍යාපාරිකයා ව අපරාධ අංශය වෙත යොමු කර ඇත

 එම   අවස්ථාවේදී එහි රාජකාරියේ යෙදී සිටි උප පොලිස් පරීක්ෂක වරයා එකි පැමිණිල්ල ලියා නොගෙන  පැමිණිලිකාර  ව්‍යාපාරිකයා ව  විවිධ පැමිණිලි අංශය වෙත  යවා තිබිණි

අනතුරුව පොලිස් ස්ථානයෙන් පිටව තිබූ පැමිණිලිකාර ව්‍යාපාරිකයා ඒ පිළිබඳ  කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් රාජපක්ෂ මහතා වෙත පැමිණිලි කිරීමෙන් අනතුරුව  ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස සීතාවක කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්  අධිකාරී චන්දන කොඩිතුවක්කු උපදෙස් ලබා දී තිබිණි

ඒ අනුව විමර්ශන සිදුකළ සීතාවක කොට්ඨාසයේ  සහකාර පොලිස් අධිකාරී (එක)  කේ එස් එස් කේ ජයවර්ධන මහතා විසින් විමර්ශන  පවත්වා වහාම ක්‍රියාත්මක වන පරිදි උප පොලිස් පරීක්ෂකවරයාගේ සේවය අත්හිටුවා ඇතැයි උසස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය