(ඉන්දිකා රාමනායක)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා සැකකරුවකු නොවන බවට මෙතෙක් සිදුකළ විමර්ශනයේ දී තොරතුරු හෙළිවී නොමැති බවට වැඩබලන පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා 2019.6.20 දින පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත ලබා දී ඇති ලිපිය එවකට පැවති විමර්ශන පදනම් කරගෙන නිකුත් කළ ලිපියක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා අද (28) පැවසීය.
පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් පාස්කු විමර්ශන සම්බන්ධයෙන් 2019.6.20 දින වාර්තාවක් ලබා ගැනීමෙන් පසුව එම ලිපිය යොමුකර ඇති බවද පසුව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා ඇතුළු තිදෙනකු සම්බන්ධයෙන් මහජන පැමිණිලි ඇති නම් ඒවා විමර්ශනය කිරීමට එවකට පොලිස්පතිවරයා විසින් විශේෂ කිමිටුවක් පත් කළ බවත් එම කමිටුවට බාරදුන් වාර්තා වල ප්‍රගතිය විමසීමේ දී හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත එම ප්‍රගතිය ලිඛිතව දැනුම් දී තිබු බවද ජාලිය සේනාරත්න මහතා කියා සිටියේය.
එම කරුණු අනුව හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පාස්කු ප්‍රහාර සිද්ධියේ සැකකරුවකු නොවන බවත්, ඔහු අවශ්‍ය කරන සැකකරුවකු බවට විමර්ශනවලදී හෙළි නොවු බවටත් වැඩබලන පොලිස්පතිවරයා පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත ලිපියක් යොමුකර තිබු බවද ජාලිය සේනාරත්න මහතා කියා සිටියේය.
එම ලිපිය මගින් රිෂාඞ් බදියුදීන් මහතා අනාගතයට බලපාන නිර්දෝෂිකරුවකු වශයෙන් සඳහන් කර නොමැති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.
පසුව පැතිකඩ කිහිපයක් ඔස්සේ විමර්ශන ගණනාවක් ආරමභ කිරීමත් සමග සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගත් බවත් තවදුරටත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිතව බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව ප්‍රකාශ කළේ අද (28) පොලිස් මුලස්ථානයේ පැවති විශේෂ මාධ්‍ය හමුවක දී ය.

