(ඩී. ජී. සුගතපාල)
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමේ නායකයාට පහරදී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවෙකු 30 වන දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකර හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන ලෙස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය අද(18) නියෝග කළාය.
මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලද්දේ ගාල්ල රිච්මන්ඩ් විදුහලේ ආදි සිසුවෙකු බව කියන 41 හැවිරිදි පුද්ගලයෙකි.
ඉකුත් 9වනදින ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සහ ගාල්ල රිච්මන්ඩ් විදුහල අතර පැවති අවසන් තරගයේදී ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල ලකුණු 11කින් ජයග්‍රහණය කිරීමත් සමඟ 150ක පමණ පිරිසක් ක්‍රීඩාංගණයට කඩාපැන ඇති බව සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය කියාසිටියේය.
පසුව ජයග්‍රාහී සාන්ත තෝමස් කණ්ඩායම ක්‍රීඩා මණ්ඩපය වෙත එමින් සිටියදී කලහකාරි පිරිස ඔවුනට පහරදී ඇති බවත් එහිදී කණ්ඩායමේ නායකයාට අතින් පයින් සහ කොඩි කණුවලින් පහරදී ඇති බවද පොලිසිය වැඩිදුරටත් පැවසීය.
පහරදීම සම්බන්ධයෙන් සාන්ත තෝමස් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා පැමිණිලි කිරීමෙන් පසු පරීක්ෂණ පැවැත්වූ පොලිසිය මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.
මෙම පහරදීම සම්බන්ධයෙන් තවත් විස්සකට ආසන්න පිරිසක් අත් අඩංගුවට ගැනීමට නියමිත බව ද පොලිසිය අධිකරණයට පැවසීය.

