(මනෝප‍්‍රිය ගුණසේකර)
ලංකාව අවට මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑමේ සිද්ධියට අදාළව ‘‘ඇවන්ට් ගාඩ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති, ‘රක්නා ලංකා’ හිටපු සභාපතිවරයා, ජාතික පොලිස් කොමිසමේ ලේකම්වරයා ඇතුළු විත්තිකරුවන් 13 දෙනෙකුට එරෙහිව චෝදනා 7573 ක් යටතේ නීතීපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අද (10) නඩු පවරන ලදී.
නීතීපති දප්පුල ද ලිවේරා මහතාගේ ඉල්ලීමක් පිළිගනිමින් මෙම නඩුව විභාග කිරීම සඳහා ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් අගවිනිසුරුවරයා විසින් පත් කිරීමෙන් අනතුරුව විත්තිකරුවන්ට එරෙහිව මෙලෙස නඩු පවරන ලදී.
චෝදනා 7573 ක් යටතේ විත්තිකරුවන් 13 දෙනාට එරෙහිව නීතීපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා ඇති අතර අධිකරණ ඉතිහාසයේ එක් නඩුවක මෙවැනි අධිචෝදනා ප‍්‍රමාණයක් ඉදිරිපත් කොට ඇත්තේ ප‍්‍රථම වතාවටය.
මෙම සිද්ධිය හේතූවෙන් දේශිය වශයෙන් මෙන්ම ජාත්‍යයන්තර වශයෙන් ඇති වු ආන්දොළනාත්මක තත්වය පදනම් කරගනිමින් අධිකරණ සංවිධාන පනතේ 12 (2) වගන්තිය යටතේ සහ අපරාධ නඩු විධාන සංග‍්‍රහ පනතේ 450 (4) වගන්තිය යටතේ නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා මෙම ඉල්ලීම කොට ඇති බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.
2014 අපේ‍්‍රල් 07 වැනිදා සිට 2015 ඔක්තොම්බර් මස 06 වැනිදා දක්වා කාලයේ ඉන්දියන් සාගරය, රතු මුහුද හික්කඩුව සහ කොළඹදී නීත්‍යනුකූල බලපත‍්‍ර නොමැති ස්වයංක‍්‍රීය ගිනි අවි සහ උණ්ඩ ළඟ තබාගැනීම සඳහා
කුමන්ත‍්‍රණය කිරීම ඒ අනුව ටී-56, 84 එස් සහ එල්.එම්.ජී. වර්ගයේ ගිනි අවි 816ක් සහ උණ්ඩ 2,02,935ක් නීත්‍යනුකූල බලපත‍්‍ර නොමැතිව ලඟ තබාගැනීම මෙන්ම 2015 සැප්තැම්බර් 23 වැනිදා සිට 2015 ඔක්තොම්බර් මස 06 වැනිදා දක්වා කාල සීමාව තුළදී ඉන්දියන් සාගරය, රතු මුහුද හික්කඩුව සහ කොළඹදී නීත්‍යනුකූල බලපත‍්‍ර නොමැති ස්වයංක‍්‍රීය ගිනි අවි සහ උණ්ඩ ප‍්‍රවාහණය කිරීම සඳහා කුමන්ත‍්‍රණය කිරීම සහ ඒ සදහා ආධාර හා අනුබල දුන් බවට විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා ඇත.
2015 සැප්තැම්බර් 21 වැනිදා සිට 2015 ඔක්තොම්බර් මස 06 වැනිදා අතර කාල සීමාව තුළදී නිශ්ශංක සේනාධිපති, සමන් දිසානායක සහ පේ‍්‍රමචන්ද්‍ර නමැත්තන් ‘රතු මුහුදේ සිට ගාලූ වරයා දක්වා ගිනි අවි 816 ක් සහ උණ්ඩ 2,02,935 ක් ප‍්‍රවාහණය සඳහා ඉල්ලූම්පතක් ඉදිරිපත් කළ බවත් එය 2015 සැප්තැම්බර් 28 වැනිදා ආරක්‍ෂක අමාත්‍යංශයට ලැබුණු බවත්’ යනුවෙන් පරවේෂණයක නීතී කටයුත්තට බලපාන ආකාරයට බොරු සාක්කි ගෙතීමට කුමන්ත‍්‍රණය කළ බවටද ආරක්‍ෂ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් වශ්‍යයෙන් කටයුතු කරමින් සමන් දිසානායක නමැත්තා විසින් එලෙස බොරු සාක්කි ගෙතූ බවටද එලෙස බොරු සාක්කි ගෙතීම සඳහා ඔහුට ආධාර හා අනුබල දුන් බවට නිශ්ශංක සේනාධිපති හා පේ‍්‍රමචන්ද්‍ර නමැත්තන්ට එරෙහිවද නීතීපතිවරයා විසින් වැඩිදුරටත් චෝදනා නැඟීමට බලාපොරොත්තු වන බව නීතීපතිවරයා දැනුම් දී ඇත.
ගිනි අවි ආඥා පනත යටතේ සහ පුපුරණ ද්‍රව්‍ය ආඥා පනත යටතේ දඩුවම් ලැබිය යුතු වරදවල් විත්තිකරුවන් විසින් සිදු කොට ඇති බව නීතීපතිවරයා විසින් චෝදනා පත‍්‍රයේ සදහන් කොට ඇත.

