පාර්ලිමේන්තුවේ ඡන්දයත් ජනතා මතයත් අතර ආලෝක වර්ෂ ගණනාවක පරතයක්


(යොහාන් භාසුර)

පාර්ලිමේන්තුවේ ඡන්ද ප්‍රතිශත සහ එළියේ ජනතා මතය අතර ආලෝක වර්ෂ ගණනාවක පරතයක් ඇති බවත් ලක්‍ෂ 69 ක් ඡන්ද සහ තුනෙන් දෙකක බලයක් තිබූ ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා ඉවත්කිරීමට ද රටේ ජනතා බලය ක්‍රියාත්මක වූ බවත් පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා අද (20) පස්වරුවේ පැවසීය.

ජනත මතය පාර්ලිමේන්තුවේ 225 දෙනාගෙන් නියෝජනය නොවන්නේ යැයි ජනාධිපතිවරයා පත්කිරීමේ ඡන්දයේදී පැහැදිළිව ප්‍රදර්ශනය කළ බව කී පුබුදු ජයගොඩ මහතා පාර්ලිමේන්තුවෙන් එළියෙ සිටින ලක්‍ෂ 200 කට අධික ජනතාවගේ මතය, දේශපාලන අභිලාශයන්, ප්‍රශ්න සහ දුක්ගැනිවිලි පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් හෑලුල්වට ලක්කර ඇති බව ද සඳහන් කළේය.

රටේ ජනතාවට කාලයක සිටම පාර්ලිමේන්තුව පිළිබඳව විශ්වාසයක් නොතිබුණු නිසා ප්‍රශ්න විසඳාගැනීමට අරලිය ගඟ මන්දියර අසළට යෑමට සිදුවූ බවත් ‘බලය ජනතාව අතට’ යන සටන් පාඨ අද වන විට පාර්ලිමේන්තුව තහවුරු කර ඇති බවත් ජයගොඩ මහතා කීය.

පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා, පාර්ලිමේන්තුවේදී පැවැති ජනාධිපති පත්කිරීමේ ඡන්දය පිළිබඳව අදහස් ප්‍රකාශ කිරීම සඳහා කොළඹදී අද පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.