පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු අගමැති මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක්


නාලක සංජීව දහනායක
 
පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසුව නව රජයේ වැඩපිළිවෙළ පිළිබඳව විශේෂ ප‍්‍රකාශයක් සිදු කරන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද (1) පැවසීය.


තමන් අගමැති තනතුරට පත්වීම සම්බන්ධයෙන් නොයෙක් දෙනා නොයෙක් ප‍්‍රකාශ නිකුත් කරන බැවින් රටට හා ජාත්‍යන්තරයට ද කතා කිරීමට දැන් කාලය උදාවී තිබෙන බවද අග‍්‍රාමාත්‍යවරයා කීය.


මුදල් අමාත්‍යංශයේ රාජකාරී ආරම්භ කරල මම ප‍්‍රකාශයක් කළා. නොයෙක් දෙනා නොයොක් ප‍්‍රකාශ කරනවා. රාජ්‍ය නොවන සංවිධාන වලින් වැටුප් ලබන පිරිස් විවිධ ප‍්‍රකාශ කරනවා. 


ඒනිසා අපේ රටට විතරක් නෙවෙයි ජාත්‍යන්තරයටත් කතා කරන්න දැන් වෙලාව ඇවිල්ලා තිබෙනවා. පාර්ලිමේන්තුව කැඳවීමෙන් පසුව රජයේ වැඩපිළිවෙළ පිළිබඳව විශේෂ ප‍්‍රකාශයක් කරන්න මම බලාපොරොත්තු වෙනවා. 


කොළඹ, මල් පාරේ පිහිටි අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ දී ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය සමඟ අද (1) පැවැති සාකච්ඡාවේදී අග‍්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.