පා. මන්ත්‍රී චාමරට ඇප


(පාලිත ආරියවංශ)

රාජ්‍ය බැංකුවක් විසින් ලබාදුන් රුපියල් ලක්ෂ දහයක මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන සිද්ධියක් රිමාන්ඩ් බාරයේ සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර  සම්පත් දසනයකට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි බදුල්ල මහේස්ත්‍රාත්  නුජිත් ද සිල්වා මහතා නියෝග කළේය.

පොදු දේපල පණත යටතේ පවරා ඇති නඩුවකට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා  අද (19) දින පෙරවරු නවයට පමණ බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කළේය. 

ඌව පළාත් මහ ඇමැති වශයෙන් කටයුතු කරමින් සිටියදි 2016 වර්ෂයේ දි පෙර පාසල් ළමුන් සදහා පාසල් පොත් බෑග් ලබාදීම සදහා රාජ්‍ය බැංකුවක් විසින් ලබාදුන් රුපියල් ලක්ෂ දහයක මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පොදු දේපල පණත යටතේ මන්ත්‍රිවරයාට එරෙහිව මෙම නඩුව පවරා ඇත.