(හර්ෂණ තුෂාර සිල්වා)
ප්‍රභූ වාහන ගමන් කිරීම සඳහා මහජනතාවට අවහිර වන පරිදි මාර්ග වසා නොදමන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආරක්ෂක අංශවලට උපදෙස් දී ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පැවැති කැබිනට් හමුවේදී ජනාධිපතිවරයා ඒ බව සඳහන් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය ද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
ප්‍රභූ ආරක්ෂක රථ ගමන් කිරීමේ දී මාර්ග වසා තැබීම හේතුවෙන් මහජනතාවට සිදුවන අපහසුතාව සැළකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා එම උපදෙස් දී ඇත.
ඒ අනුව අදාළ ප්‍රභූවරුන්ගේ ආරක්ෂක අංශ නිලධාරින් මේ පිළිබඳ දැනුවත් කරන ලෙසත්, සාමාන්‍ය ජනතාවට කිසිදු අයුරකින් අවහිරයක් ඇති නොවන අයුරින් ප්‍රභූ රථ ධාවනය කිරීමට ඔවුන්ට උපදෙස් නිකුත් කරන ලෙසත් ජනාධිපතිවරයා තවදුරටත් උපදෙස් දී තිබේ.
මේ අතර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් පසුව මෙරට සිටින තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහ එම කාර්යාලවල ආරක්ෂාව වැඩි කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

