පළාලි ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමේ ගිවිසුම කැබිනට් මණ්ඩලයට


(තිළිණි ද සිල්වා )

යාපනය පළාලි ගුවන්තොටුපොළ සංවර්ධනය කිරිම සඳහා ඉන්දීය රජය සමඟ අත්සන් කිරීමට අපේක්ෂා කරන අවබෝධතා ගිවිසුම අනුමැතිය ලබාගැනීම සදහා ඉදිරි සති දෙක ඇතුළතදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවැසීය.

එම අවබෝධතා ගිවිසුම මේ වනවිට කෙටුම්පත් කර අවසන් බවත් කැබිනට් අනුමැතිය ලද වහාම ගිවිසුම අත්සන් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා කීවේය.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා සමග සංචාරක අමාත්‍යංශයේදී පැවැති සාකච්ඡාවකදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සදහන් කළේය.
 
යාපනය පළාලි ගුවන් තොටුපළ සංවර්ධනය කිරීම සදහා ඉන්දියානු රජය රුපියල් මිලියන 300ක ප්‍රධානයක් ලබාදීමට එකඟතාවය පළකර ඇත.

එහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ඉල්ලා සිටියේ සිටියේ කටුනායක ගුවන්තොටුපළ නැවත විවෘත කළ වහාම ඉන්දියාවේ කුසිනාරා නුවරට වන්දනාව සදහ පිරිස් එවීමට කටයුතු කරන ලෙසය. එමෙන්ම මෙරට සංචාරක හා ආයෝජන ක්‍ෂේත්‍ර සංවර්ධනය වෙනුවෙන් ඉන්දියානු රජයේ පූර්ණ සහය පළ කරන බව කී ඉන්දියානු මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සදහා ඉන්දියාවේ මහා පරිමාණ ව්‍යාපාරිකයන් දැඩි කැමැත්තක් දක්වන බවද සදහන් කළේය. 
 
 ගුවන්සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක, සංචාරක අමාත්‍යංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි, ගුවන්සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් මාධව සුරේන්ද්‍ර මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගි වූහ.