පළාත් සභා මැතිවරණය අලුත් ක්‍රමයට පවත්වන්න ඉඩ දෙන්නේ නෑ


(එෆ්. අස්ලම්)

පළාත් සභා මැතිවරණය නව මැතිවරණ ක්‍රමයට අනුව පැවැත්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උත්සහ දරමින් සිටින බවත් එම මැතිවරණය පැරණි මැතිවරණ ක්‍රමයට අනුව පැවැත්විය යුතු බවත් නැගෙනහිර හිටපු මහ ඇමති හාෆිස් නසීර් අහමද් මහතා පැවසීය.

නව මැතිවරණ ක්‍රමයට අනුව මැතිවරණය පැවැත්වීම තුළින් සුළු ජාතීන්ට විශාල බලපෑමක් සිදුව ඇති බවත් ඊට කදිම නිදසුන පසුගිය පළාත් පාලන මැතිවරණයේ සුළු ජන නියෝජිතයින් අවම වශයෙන් තේරී පත්වීම බවත් අහමද් මහතා සඳහන් කරයි.

පළාත් සභා මැතිවරණය පිළිබඳ මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් හිටපු මහ ඇමතිවරයා මේ බව අවධාරණය කළහ.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නසීර් අහමද් මහතා මෙසේද කීය.

‘‘පළාත් සභා මැතිවරණයට අදාල ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් නිකුත් කරන්න යනව කියල දැනගන්න ලැබෙනවා.මේ මැතිවරණය ශ්‍රේෂ්ඨාධිකරණයේ,නීතිපතිගේ සහ මැතිවරණ කොමසාරිස්වරයාගේ යෝජනා හා අදහස් වලට අනුව නව මැතිවරණය ක්‍රමයට අනුව සිදුකරන්න යනව කියලත් ආරංචියි. සුළු දේශපාලන පක්ෂ මේ අවස්ථාවේදී දැඩි අවධානයෙන් කටයුතු කළ යුතුයි.

පසුගිය පළාත් පාලන මැතිවරණය පැවැත්වූයේ නව මැතිවරණ ක්‍රමයට අනුවයි.මේ ක්‍රමයට අනුව පළාත් පාලන ආයතන සඳහා සුළු පක්ෂ නියෝජනය වීම ඉතාමත් අඩුවුණා.මෙය උදාහරණයක් කරගනිමින් ඉදිරි පළාත් සභා මැතිවරණය පැරණි මැතිවරණ ක්‍රමයට පවත්වන්න ඕන කියල සාකච්ඡා කරල එකගත්වයකට පැමිණ සිටියදී නව මැතිවරණ ක්‍රමයට අනුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ජනාධිපතිවරයා  වෙර දැරීම කිසිසේත් අනුමත කළ නොහැකියි.

පළාත් සභා මැතිවරණය නව මැතිවරණ ක්‍රමයට අනුව පවත්වන්නේ නම් ඊට 2017.සැප්තැම්බර් 21 නව මැතිවරණ ක්‍රමයට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ ඊට දෑත් එසවූ සියලුදෙනාම වගකිව යුතුයි.

නව මැතිවරණ ක්‍රමය  මුළුමනින්ම අසාර්ථක මැතිවරණ ක්‍රමයක් බවට සියලුම දේශපාලන පක්ෂ දේශපාලන නියෝජිතයින් දේශපාලන විචාරකයින් ඇතුළු සැවොම පිළිගෙන තිබියෙදී ජනාධිපතිවරයා විතරක් අලුත් මැතිවරණ ක්‍රමයෙන් ඡන්දය තියන්න ගන්න උත්සහායට අපි ඉඩ තියන්නෙ නැහැ" යැයිද අවධාරණය කළේය.