(විනීතා එම්. ගමගේ)
පළාත් පාලන නියෝජිතයන් ගෙන් තුනෙන් එකක් වත්, ඊළඟ පළාත් පාලන මැතිවරණයට පෙර අඩු කළ යුතු යැයි පැෆරල් සංවිධානය කියයි.
පළාත් පාලන මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට පෙර නියෝජිතයෝ 4000 කට ආසන්න පිරිසක් තේරී පත්වූ අතර එම සංශෝධනවලින් පසු පැවැති පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී නියෝජිතයෝ 9000 කට අධික පිරිසක් තේරී පත්වූහ.
දැනට පුරවැසියන් 2225 කට එක් පළාත් පාලන ආයතන නියෝජිතයෙක් බැවින් සිටින බවත් රටට දරාගැනීමට නොහැකි ප්‍රමාණයක් බවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාදීපයට පැවැසීය.
මෙවර තේරී පත්ව ඇති නියෝජිතයන් අතරින් සමහර කොට්ඨාශවලට දෙතුන් දෙනා තේරී ඇති බව පෙන්වා දුන් හෙට්ටිආරච්චි මහතා තවත් කොට්ඨාශවලට සේවය කිරීමට නියෝජිතයෙකු නොමැති බව ද කියා සිටියේය.
මේ සම්බන්ධව දේශපාලන පක්ෂ සමග හා විද්වතුන් සමග සාකච්ඡා කිරීමට කටයුතු කරමින් සිටින බවත් අවම වශයෙන් 6000ක් වත් දක්වා මේ නියෝජිත සංඛ්‍යාව අඩු කළ යුතු බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

