පළාත් ඡන්දය අප්‍රේල් මැද: පක්ෂ රැසක් බරටම වැඩ


(සුජිත් හේවාජුලිගේ)

පළාත් සභා මැතිවරණය ලබන වසරේ අප්‍රේල් මාසයට  ප්‍රථම පැවැත්වීමට රජය අපේක්ෂා කරයි.

මෙම මැතිවරණය සඳහා සමගි  ජන බලවේගය ඇතුළු දේශපාලන පක්ෂ  රැසක් දැනටමත් අපේක්ෂකයන් තේරීම ඇතුළු  වැඩකටයුතු  ආරම්භ කර ඇත.

සමගි ජන බලවේගය පළාත් සභා මැතිවරණය සඳහා අපේක්ෂකයන් තෝරා ගැනීම සඳහා දැන්වීම් ප්‍රචාරය කිරීමට පසුගිය සතියේ පැවති   එහි නායක  රැස්වීමකදී තීරණය  කෙරිණ

මේ සම්බන්ධයෙන් අප රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ පළාත් සභා මැතිවරණය ප්‍රමාද කිරීමට රජයට කිසිදු අවශ්‍යතාවක් නැති බවයි.

එම මතිවරණය පැවැත්වීමට නීතිමය බාධාවන් කිහිපයක් පැන නැගී ඇති බවත් එම බාධාවන් නිරවුල් කිරීමට මේ දිනවල සාකච්ඡා ආරම්භ වී ඇති බවත් ඔහු සඳහන් කළේය.

පළාත් සභා නවයේම නිල කාලය අවසන් වීම හේතුවෙන් වසර දහයකට ආසන්න කාලයක් තිස්සේ ඒවා  පවතින්නේ ආණ්ඩුකාරවරුන්ගේ පාලනය යටතේය.

මේ අතර පළාත් සභා මැතිවරණය ඉක්මනින්ම පවත්වන්නැයි  දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන රජයෙන් දිගින් දිගටම ඉල්ලීම් කරමින් සිටී.

මේ සම්බන්ධයෙන් අප මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ නීති ගැටලු නිරවුල් කර දුන් වහා මැතිවරණය පැවැත්වීමට සූදානම් බවයි.

එම මැතිවරණය පැවැත්වීමට මුදල් දැනටමත් වෙන් කර ඇතැයිද  ඔහු ප්‍රකාශ කළේය.