පරිසර ලේකම්ගෙන් අලි ගැන පොලිස්පතිට ලිපියක්


(අංජුල මහික වීරරත්න)

අලි ඇතුන්ට වෙඩි තබන පුද්ගලයින් අත් අඩංගුවට ගෙන නීතිමය කටයුතු සිදු කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලමින් පරිසර අමාත්‍යංශයේ ලේකම් කේ.ආර් උඩුවාවල මහතා වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට ලිපියක් යවා ඇත.

ශ්‍රී ලංකාවේ වනාන්තර ආශ්‍රිතව ජීවත්වන අලි ඇතුන් බොහෝ දෙනෙක් මේ වන විට දඩයක්කරුවන්ගේ හෝ අනවසර ගිනි අවි දරන්නන්ගේ හෝ ගොවීන්ගේ හෝ ගිනි අවි ප්‍රහාරයන්ට ලක්වීමේ ප්‍රවණතාවයක් මේ වන විට දැක ගත හැකි යැයි ද මේ තත්වය ලංකාවේ අලි ඇතුන් ගැවසෙන සෑම ප්‍රදේශයකම දිනපතා වාර්තාවන තත්වයක් බවද අදාළ ලිපියේ දැක්වේ.

 "ලංකාවේ ජීවත් වන ආසියාතික අලියා ලංකාවට සංචාරක ආකර්ෂණය ළඟාකර දෙන ආරක්ෂා කළ යුතු සත්වයෙකි. නමුත් දිනපතා අලි ඇතුන්ට සිදුකරන වෙඩි තැබීම වාර්තා වීම ජාතික හා ජාත්‍යන්තර වශයෙන්, සංරක්ෂණය කළ යුතු සත්වයෙකු වෙත ලැබිය යුතු ආරක්ෂාව අහිමි වී යාමක් වන බව මාගේ හැඟීමයි.

එබැවින්, මේ තත්වය දිඟින් දිගටම සිදුවන බව වාර්තා වන බැවින් ශ්‍රී ලංකා පොලිසියේ අපරාධ විමර්ශන අංශය මඟින් විශේෂ විමර්ශනයක් සිදුකර මෙලෙස අලි ඇතුන්ට වෙඩි තබන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු සිදු කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටිමි.

තවද, වනාන්තර ආශ්‍රිතව ජීවත් වන පුද්ගලයින් නීති විරෝධී ගිනි අවි භාවිතයෙන් මෙම කාර්යය සිදු කරන බව පෙනී ගොස් ඇති නිසා පොලිස් විශේෂ කාර්ය බලකාය මඟින් විශේෂ සෝදිසි මෙහෙයුම් දියත් කර නීති විරෝධී ගිනි අවි අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් අලි ඇතුන් ගැවසෙන ප්‍රදේශ වල සිදුකර දෙන මෙන්ද වැඩි දුරටත් ඉල්ලා සිටිමි යනුවෙන්ද පරිසර අමාත්‍යාංශ ලේකම්වරයා වැඩ බලන පොලිස්පතිවරයාට යැවූ ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.