පර්ල් කේ.වීරසිංහ අත්අඩංගුවට ගන්න යළි වරෙන්තුවක්


(මනෝප්‍රිය ගුණසේකර)

දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයන ජනාධිපති පරීක්ෂණ කොමිසමේ ලේකම් පර්ල් කේ.වීරසිංහ මහත්මිය අත්අඩංගුවට ගන්නැයි ත්‍රිපුද්ගල මහධිකරණ විනිසුරු මඩුල්ල අද (10) වරෙන්තු නිකුත් කළේය.

ලේකම්වරිය මාර්තු 12 වැනිදාට පෙර අත්අඩංගුවට ගැනීමට නොහැකි වූවොත් ඒ පිළිබඳව පොලිස්පතිවරයා පෞද්ගලිකවම අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දැක්විය යුතු බවද මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය.

පර්ල් වීරසිංහ මහත්මිය අත්අඩංගුවට ගන්නැයි මෙලෙස වරෙන්තු නිකුත් කරනු ලැබුවේ දෙවැනි වරටය.

දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයාබැලීම සඳහා ජනාධිපතිවරයා කොමිසමක් පත්කර ඇත්තේ ඉතාම යහපත් චේතනාවකින් වුවත් එම කොමිසමේ කොමසාරිස්වරුන්ගේ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් ජනාධිපතිතුමාගේ කීර්තියට ද දැඩි හානියක් සිදුවන බව පෙන්වා දුන් විනිසුරු විකුම් කළුආරච්චි මහතා රජයේ නිලධාරිනියක් අත්අඩංගුවට ගැනීමට පොලිස්පතිවරයාට නොහැකිවීම බරපතළ ගැටලුවක් බවත් මෙවැනි නිලධාරිනියක් අත්අඩංගුවට ගැනීමට නොහැකි නම් පොලිස්පතිවරයා බරපතළ අපරාධ සහ ත්‍රස්තවාදී කටයුතු මැඩ පවත්වන්නේ කෙසේද යන ප්‍රශ්නය මතු වන්නේ යැයිද පැවසීය.

මීට පෙර දිනයක ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් වරෙන්තු නිකුත් කර සිටි පර්ල් කේ.විරසිංහ මහත්මිය අධිකරණ නියෝගය අනුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකිරීම හේතුවෙන් විනිසුරු මඩුල්ල එලෙස දෙවැනි වරටත් එලෙස නියම කළේය.

එලෙස නියම කරන ලද්දේ වනජීවී දෙපාර්තමෙන්තුවේ තිබූ අලි ලියාපදංචි කරන පොත කූඨ ලෙස වෙනස් කර බලපත්‍ර නොමැති අලි පස්දෙනෙකු ලඟ තබා ගත් බවට චෝදනා කරමින් නීතීපතිවරයා පවරා ඇති නඩුව විභාග කරන කොළඹ මහාධිකරණ විනිසුරුවරුන් වන විකුම් කළුආරච්චි (සභාපති) ධම්මික ගනේපොළ සහ ආදිත්‍ය පටබැඳි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි.

පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ජනක බණ්ඩාර මහතා පෙනි සිටියේය.

විත්තිකරුවන් වෙනුවෙන් නීතීඥ නයනා දිසානායක සහ ඉරෝමී ජයරත්න මෙනවියන් සමඟ ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා ඇතුළු නීතීඥවරුන් කණ්ඩායමක් පෙනී සිටියහ.