
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
තම බිරිඳගෙන් පලිගැනීමේ චේතනාවෙන් ඇයගේ නැගණිය බියවද්දා බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතවර කර මරා දැමීමට සූදානම් වූ හිටපු හමුදා සෙබලෙක් ජී.පී.එස් තාක්ෂණය ඔස්සේ පැය 24 ක් තුළදී අද (08) අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය කියයි.
සැකකරුගේ බිරිඳගෙ මවගෙන් (නැන්දණියගෙන්) ලද පැමිණිල්ලක් අනුව සැකකරු මෙලෙස අත්අඩංගුවට ගැනීමට හැකී වී ඇත.
පැහැරගැනීමට ලක්වූ තරුණිය මිරිහාන, මාදිවෙල ප්‍රදේශයේ පදිංචිකාරියක් බවත්, තම මව සමග ඇරැව්වල, පැලැන්වත්ත, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි සොහොයුරිය බැලීමට පැමිණ එම නිවසේ නැවතී සිටිය දී සැකකරු විසින් මෙම තරුණිය සූක්ෂම ලෙස පැහැර ගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.
තරුණිය මිරිහාන ජුබිලි කණුව ප්‍රදේශයේ රසකැවිලි අලෙවි සැලක සේවය කරන අතර එම ආයතනයට සේවය සඳහා යවන මුවාවෙන් සැකකරු විසින් කුලී පදනම මත ලබාගත් සුඛෝපබෝගී මෝටර් රථයකින් මෙම තරුණිය රැගෙන ගොස් ඇති බවත් මූලික විමර්ශනවලදී හෙළිවූ බව පොලිසිය කීය.
සේවා ස්ථානය වෙත රැගෙන යන බව පවසා මෝටර් රථයෙන් ගෙනගිය තරුණිය ඇරැව්වල ප්‍රදේශයේ සිට පිළියන්දල දෙසට රැගෙන යමින් සිටියදී තරුණිය විසින් සැකකරුට වැරදි මාර්ගයක ගමන් ගන්නා බව වටහා දීමේ දී මෝටර් රථය මාර්ගය පසෙක නවතා සැකකරු සඟවාගෙන සිටි තියුණු උල් පිහියක් රැගෙන ඝාතනය කොට සඟවා දමන බව පවසමින් බියවද්දා තරුණිය කොළඹ ප්‍රදේශයේ නගර කිහිපයකට ගෙන යමින් වාහනය තුළ රඳවාගෙන සිට ඇති බව පරීක්ෂණවලදී හෙළිවී තිබේ.
සැකකරු පැහැර ගත් තරුණිය ද රැගෙන රත්නපුර ප්‍රදේශයට ගමන් කරමින් සිටියදී කුලී පදනම මත ලබාගත් මෝටර් රථයේ සවිකර තිබු ජී.පී.එස් තාක්ෂණය උපකරණය ඔස්සේ වාහනයේ තිබෙන තැන සොයා ගත් පොලිස් නිලධාරීන් විසින් වහාම රත්නපුර ප්‍රදේශයට ගමන් කර සැකකරු හා මෝටර් රථය අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී පැහැර ගත් තරුණියද එහි සිටි බව පොලිසිය පැවසීය.
සැකකරු තදින්ම අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූ අයෙක් බවත්, කලක පටන් සැකකරු හා බිරිඳ අතර තිබෙන පවුල් ආරවුලකට පලිගැනීමක් වශයෙන් බිරිඳගේ නැගණිය පැහැරගෙන ගොස් අතවර සිදුකර මරා දැමීමට සැලසුම් කර ඇති බව අනාවරණය කරගත් බවද පොලීසිය පැවසීය.
සැකකරු 32 වැනි වියේ පසුවන එක්දරු පියෙක් බවත් මෝටර් රථය දෛනික කුලී පදනම මත රුපියල් 4000/=ක මුදලකට බොරලැස්ගමුවේ පිහිටි ආයතනයකින් ලබා ගෙන තිබූ බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

