නාවලපිටිය රෝහල ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ ලොරියක් සමඟ ගිලා බසී


(රංජිත් රාජපක්ෂ)

                       
නාවලපිටිය තලවකැලේ ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය මහ රෝහල ඉදිරිපිට ලොරි රථයක් අද (3) පස්වරු 5 ට පමණ ගිලා බැස ඇති බව නාවලපිටිය පොලිසිය පවසයි.

නාවලපිටිය රෝහල ඉදිරිපිට වෙළදසැලකට ලොරි රථයකින් රැගෙන එන ලද තිරිගු පිටි බාමින් සිටින අතරතුර ලොරි රථයේ පසුපස රෝදය එකවරම ගිලා බැසිමත් සමග ලොරි රථය එක් පැත්තකට ඇල වි ඇත.

නාවලපිටිය නගරයට ප්‍රධාන මාර්ගයට යටින් පානීය ජලය බෙදාහරින ජල නලයක් එලා තිබු කොටසක් මෙසේ ගිලා බැස තිබේ.

ලොරි රථය කොටසක් ගිලා බැසීමත් සමග ජල නලයට ද හානි සිදු වි ඇති ජලය ප්‍රධාන මාර්ගය හරහා කාන්දු විමත් සමඟ නාවලපිටියට පානීය ජලය බෙදා හැරිම ද නතර වී ඇත.

ගිලා බැස ඇති ලොරි රථය ඉවත් කිරිමෙන් පසුව හානි සිදු වු ජල නලය අලුත්වැඩියා කිරිමේ කටයුතු ආරම්භ කරන බව නාවලපිටිය ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරියකු පැවසීය.