(මනෝප‍්‍රිය ගුණසේකර)
වෛද්‍යවරයෙකුගෙන් රුපියල් ලක්‍ෂ 80 ක අල්ලසක් ඉල්ලා ඉන් ලක්‍ෂ 25ක් ලබාගත් බවට චෝදනා ලැබ සිටි නාරාහේන්පිට පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා සහ එහි අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා තමන්ට එරෙහි සියලුම චෝදනාවන්ට තමන් නිවැරදිකරුවන් බව කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා හමුවේ අද (18) පැවසුහ.
කූඨ ලේඛනයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් වෛද්‍යවරයකු වන ශාන්ත ලොකුබණ්ඩාර නමැත්තාට එරෙහිව නීතී මඟින් කටයුතු නොකර සිටීම සඳහා ඔහුගෙන් රුපියල් ලක්‍ෂ 80ක අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයෙන් වු අධිචෝදනා විත්තිකරුවන්ට කියවා තේරුම්කරදුන් අවස්ථාවේදී විත්තිකරුවන් එසේ පැවසුහ.
ඒ අනුව විනිසුරුවරයා විසින් විත්තිකරුවන්ට එරෙහි නඩුවේ සාක්කි විභාග කිරීම ආරම්භ කළ අතර පැමිණිල්ලේ ප‍්‍රථම සාක්කිකරු වන වෛද්‍ය ශාන්ත ලොකුබණ්ඩාර මහතා සාක්කි ලබාදුන්නේය.
2015 නොවැම්බර් මස 11 වැනිදාත් 2015 නොවැම්බර් මස 27 වැනිදාත් අතර කාලය තුලදී නාරාහේන්පිට ප‍්‍රදේශයේදී ශාන්ත ලොකුබණ්ඩාර නමැත්තාට එරෙහිව නීතී මඟින් කටයුතු නොකර සිටීම සඳහා ඔහුගෙන් රුපියල් ලක්‍ෂ 80ක අල්ලසක් ලබා ගැනීමට කුමන්ත‍්‍රණය කිරීම, ඒ අනුව ඔහුගෙන් රුපියල් ලක්‍ෂ 80ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් ලක්‍ෂ 25ක අල්ලසක් ලබා ගැනීම මෙන්ම එම අල්ලස් මුදල ලබාගැනීමට ආධාර හා අනුබල දුන් බවට විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 13ක් යටතේ අල්ලස් කොමිසම විසින් නඩු පවරා ඇත.
මෙලෙස නඩු පවරා ඇත්තේ නාරාහේන්පිට පොලිසියේ හිටපු ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක උපුල් ධම්මික ගුණතිලක සහ එහි අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක තිස්සසිරි සුගතපාල යන මහත්වරුන්ට එරෙහිවය.
විත්තිකරුවන්ට එරෙහි අධිචෝදනා 24 විවෘත අධිකරණයේදී කියවා තේරුම් කරදෙන ලද අතර මෙම චෝදනාවන්ට තමන් වරදකරුවන්ද? නිවරුදිකරුවන්ද? යනුවෙන් නැඟූ ප‍්‍රශ්නයකට පිළිතුරු දුන් විත්තිකරුවෝ තමන් මෙම චෝදනාවන්ට නිවැරදිකරුවන් බව කියා සිටියහ.
ඒ අනුව පැමිණිල්ලේ නඩුව විභාග කිරීම ආරම්භ කළ අතර පැමිණිල්ල වෙනුවෙන් පැමිණිල්ලේ ප‍්‍රථම සාක්කිකරු වන වෛද්‍ය ශාන්ත ලොකුබණ්ඩාර මහතා සාක්කි ලබාදුන්නේය.
වැඩිදුර සාක්කි විභාග කිරීම ලබන වසරේ ජනවාරි මස 16 වැනිදා දන්වා කල් තබන ලදී.