(මනෝප‍්‍රිය ගුණසේකර)
අයථා ලෙස රුපියල් කෝටි තුනක මුදලක් උපයා ගත් බවට මුදල් විශූද්ධීකරණ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිසකට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර විභාග කටයුතු ලබන ජූනි මස 08 වැනිදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ප‍්‍රදීප් හෙට්ටිආරච්චි මහතා අද (03) නියම කළේය.
විත්තිකාර පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතාට අයවැය විවාදයට යෑමට අවසර දෙන්නැයි ඉල්ලමින් ඉදිරිපත් වූ කරුණු පිළිගත් විනිසුරුවරයා එලෙස නියම කළේය.
2013 ඔක්තොම්බර් මස 01දාත් 2014 අගෝස්තු මස 31 වැනිදාත් අතර කාලය තුළ කොළඹදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතාට අයත් ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගම වෙනත් සමාගමක් සමඟ කළ ගනුදෙනුවකදී අයුතු ලෙස මුදල් උපයාගැනීමට කුමන්ත‍්‍රණය කිරීම සහ රුපියල් මිලියන 30ක මුදලක් උපයාගත් බවට මුදල් විශූද්ධීකරණ පණත යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා එකොළහක් යටතේ නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.
අයථා ලෙස උපයන ලද රුපියල් මිලියන 30ක මුදලකින් ‘‘හෙලෝ කෝප්’’ ආයතනය මිලදී ගෙන ඇති බවටද නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව වැඩිදුරටත් චෝදනා නගා තිබිණි.
දුෂණ විරෝධී පෙරමුණේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා විසින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කරන ලද පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයකින් අනතතුරුව නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා, පවිත‍්‍රිකා සුජානි බෝගොල්ලාගම, ගුවන් සේවිකාවක් වු නිත්‍යා සේනානී සමරනායක, ඔරනෙල්ලා ඉරේෂා සිල්වා සහ ඉන්දික ප‍්‍රභාත් කරුණාජීව නමැත්තන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත.
නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී නඩුවේ විත්තිකරුවෝ හා සාක්කිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.
ඉදිරිපත් වු කරුණු සැලකිල්ලට ගනිමින් වැඩිදුර විභාගය ලබන ජූනි මස 08 වැනිදා දක්වා කල් තැබීමට නියම කළ විනිසුරුවරයා එදින අධිකරණයේ පෙනී සිටින ලෙස විත්තිකරුවන්ට හා සාක්කිකරුවන්ට නියම කළේය.
පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා පෙනී සිටියේය. විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් වන සම්පත් මෙන්ඩිස්, ගනේෂ් ධර්මවර්ධන සහ ජීවන්ත වීරසිංහ යන මහත්වරු ද ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා ඇතුළු නීතීඥ කණ්ඩායමක් ද පෙනී සිටියහ.

