නව විදුලි බලාගාර ඉදිනොකිරීම නිසා ලංවීමට දිනකට කෝටි 25 ක් පාඩුයි


(ඩයනා උදයංගනී)

පසුගිය රජය සමයේදී කිසිඳු නව විදුලි බලාගාරයක් ඉදිනොකිරීම නිසා ලංකා විදුලි බල මණ්ඩලයට දිනකට රුපියල් කෝටි 25ක පමණ පාඩුවක් සිදුවන බව මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකාදීපයට පැවසීය.

පසුගිය රජය සමයේ දී අඩු මිලට විදුලිය නිපදවිය හැකි ස්වභාවික වායු බලාගාර එකක් හෝ ඉදිකර තිබිණි නම් මෙම පාඩුව අවම කරගන්නට තිබිණි යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

එවැනි බලාගාරයක් ඉදිකර තිබුණේ නම් රුපියල් 9, 10 වැනි මිලකට විදුලි ඒකකයක් නිපදවීමේ හැකියාව තිබෙන බව කී අමාත්‍යවරයා මේ වන විට ඩීසල් මගින් නිපදවන විදුලි ඒකකයක් ලබාගැනීම සඳහා රුපියල් 20ත් 30ත් අතර මුදලක් වැයකිරීමට මණ්ඩලයට සිදුවන බව ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීවේය.

එයින් සිදුවන දැවැන්ත පාඩුව හේතුවෙන් ලංකා විදුලි බල මණ්ඩලය බරපතල ගැටළුවකට මුහුණ දෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මීට අමතරව පසුගිය රජය ගතවූ වසර පහක කාලය තුළ එක් විදුලි බලාගාරයක් හෝ ඉදිනොකිරීම නිසා සමස්ත විදුලි අවශ්‍යතාව සැපයීමට ලංකා විදුලි බල මණ්ඩලය අපොහොසත් වී ඇතැයි ද ඇමති අමරවීර මහතා පැවසීය.

නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයේ දෙවන අදියර හා කෙරවලපිටිය ස්වභාවික වායු බලාගාරයේ ද ඉදි කිරීම් මෙම වසරේදී ආරම්භ කිරීමට නියමිත බව කී ඇමතිවරයා එම බලාගාර දෙකෙන් ජාතික විදුලි පද්ධතියට මෙගවොට් 600ක විදුලි ධාරිතාවයක් එක්වන බව ද සඳහන් කළේය.

එබැවින් දැනට හඳුනාගෙන ඇති හා අනුමැතිය ලබා දී ඇති පුනර්ජනනීය විදුලි බල ව්‍යාපෘති ඉතාමත් ඉක්මනින්ම ආරම්භ කිරීමට තීරණයක් ගෙන ඇතැයි ද අමරවීර මහතා කීවේය.

එහිදී විදුලි බල පනතේ අඩු ලුහුඩුකම් ඇතොත් ඒවා සංශෝධනය කර දී විදුලිබල ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය පරිසරය සකසාදීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා කීය.