නගරාධිපති ධූරය අත්හිටුවීම දේශපාලන පළිගැනීමක් බව අලුවිහාරේ කියයි


(මහේෂ් කිර්තිරත්න) 

නගරාධිපති ධූරය අත්හිටුවීමට ගත් තීරණය දේශපාලන පළිගැනීමක් බව මාතලේ මහ නගර සභාවේ හිටපු නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මාතලේ අලුවිහාරේ පිහිටි සිය නිවසේ දී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අලුවිහාරේ මහතා මෙසේ ද පැවසීය.

‘මම ඇත්ත වශයෙන්ම කනගාටු වෙනවා. ජනාධිපතිවරයාගේ සෞභාගයේ දැක්ම ක්‍රියාත්මක කරන්න අද තුනෙන් දෙකක් ලැබිලා තියනවා. මේ තුනෙන් දෙකේ ප්‍රතිඵලය මත තමයි මේ දේශපාලන පළිගැනිම්වලට අපව ලක් කරලා තියෙනවා.මාතලේ මහ නගර සභාවේ පමණයි මේ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කළේ. එක්සත් ජාතික පක්ෂයට පත්වුණේ ජනතා ඡන්දයෙන්. නමුත් ආණ්ඩුකාරවරයා බලය අතික්‍රමණය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරලා තියනවා. මම මහාධිකරණයේ නඩුවක් ගොනු කරලා තියනවා. නීතියට පටහැනිව කටයුතු කරලා තියනවා. කුරුණෑගල නගරාධිපති වැරදි කරලත් අද එළියේ ඉන්නවා. මම වැරදි කරලා නැහැ. අපි නිවැරදිව වැඩ කරලත් අපට බොරු චෝදනා එල්ල කරනවා. අපි බය නැහැ. ජනතාවට සේවය කරලා තියනවා. මේක තනිතරම දේශපාලන පළිගැනීමක්. මාතලේ ඉන්න ජනක බණ්ඩාර. ප්‍රමිත බණ්ඩාර යන අය විසින් සිදු කළ දේශපාලන පළිගැනිමක් මේ කරලා තියෙන්නේ. ජනාධිපතිවරයාගෙන් ඉල්ලනවා මාතලේට විමර්ශනයක් කණ්ඩායමක් එවන්න. මහ සභා අනුමැතිය යටතේ සභා තීන්දු අනුව තමයි වැඩ කරලා තියෙන්නේ.මගේ අභිමතය පරිදි කිසි දෙයක් කරලා නැහැ.රජයේ විගණන අනුව අපි නිවැරදි කියලා තියනවා.මම බය නැතිව කියනවා අධිභාර කරලා නැහැ. විමර්ශනයක් කරලා  වැරදි කරලා තියනවා නම් සිරගත කරන්න කියා ඉල්ලනවා යැයිද අලුවිහාරේ මහතා පැවසීය.