ධර්ම ගුණසිංහ අභාවප්‍රාප්ත වෙයි


(විනීතා එම් ගමගේ)

කොළඹ නාලන්දා විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයකු වූ ධර්ම ගුණසිංහ මහතා අද (22) අභාවප‍්‍රාප්ත විය.

90 වැනි වියට පා තබන්නට දින දෙකක් තිබියදී ගුණසිංහ මහතා අභාවප්‍රාප්ත විය.1958 දශකයේ මුල් කාලයේ විද්‍යා ගුරුවරයකු ලෙස නාලන්දා කාර්ය මණ්ඩලයට එක්ව පුරා වසර විස්සක් තිස්සේ එහි සේවය කළ ගුණසිංහ මහතා එහි කණිෂ්ඨ අංශයේ  විදුහල්පතිවරයා ලෙස ද කටයුතු කර ඇති අතර පසුව 1982 දී විදුහල්පති තනතුරට පත්ව 1990 දී විශ‍්‍රාම යනතුරු සේවය කළේය.

මෙරට පළමු ක‍්‍රිකට් නායක බන්දුල වර්ණපුර මෙන්ම මහේල ජයවර්ධන, කුමාර් ධර්මසේන, සනත් කලූපෙරුම, රොෂාන් මහානාම, අසංක ගුරුසිංහ ඇතුළු පළමු පෙළ කි‍්‍රකට් ක‍්‍රීඩකයන් රැසක් ද තවත් විශිෂ්ඨයින් රැසක් ද රටට දායාද කළේ ධර්ම ගුණසිංහ මහතාගේ සමයේ වන අතර ඒ නාලන්දාවේ ස්වර්ණමය යුගයක් බව එහි ආදි සිසුන්ගේ අදහස වේ.

මෙරට කීර්තිධර සාහිත්‍යධරයකු වූ ආචාර්ය සිරි ගුණසිංහ මහතාගේ සහෝදරයා වූ ධර්ම ගුණසිංහ මහතා තම පැරණිතම මිතුරා වන ආචාර්ය ඒ ටී ආරියරත්න මහතා සමඟ එක්ව සර්වෝදය ව්‍යාපාරය අරඹන්නට කටයුතු කළ අන්දම ගුණදාස ලියනගේ මහතාගේ දෙල්ගහයට විප්ලවය ග‍්‍රන්ථයේ සඳහන් වේ.

රෝගාතුර වන අවස්ථාව දක්වාත් ඔහු සර්වෝදය ව්‍යාපාරයේ භාණ්ඩාගාරිකවරයා විය.

අවිවාහකයකු වන ගුණසිංහ මහතා සිය ජීවිත කාලයම කැප කරන ලද්දේ පාසල් දරුවන් වෙනුවෙනි.

ධර්ම ගුණසිංහ මහතාගේ දේහය හෙට (23) පෙරවරු 8.30 සිට ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අනිද්දා (24) පෙරවරු 8.30 සිට නාලන්දා විද්‍යාලයීය මලලසේකර ශාලාවේ තැන්පත් කර තැබෙනු ඇත.

එදින පස්වරු සිට 3.30 ට අවමංගල්‍ය පෙරහර පාසලෙන් පිටත්වන අතර පස්වරු 4 ට බොරැල්ල කනත්තේ දී අවසන් කටයුතු සිදු කෙරේ.