දේවස්ථානයක පිංකැට තුනක් කඩා මුදල් සොරකම් කරලා


(  තිලකරත්න දිසානායක.)

ගම්පහ , ඉදිගොල්ල දේවස්ථානයට ඇතුළුවූ සොරෙකු එහි තිබූ පිං කැට තුනක් කඩා මුදල් රැගෙන ගොස් ඇති බව ගම්පහ පොලීසිය පවසයි. 

අලුයම් කාලයේ දේවස්ථාන භූමියට ඇතුලුවී ඇති අයෙකු පිං කැට කඩා මුදල් රැගෙන යන අන්දම දේවස්ථානයෙහි ආරක්ෂිත කැමරාවල සටහන්ව ඇති බවද පොලීසිය සදහන් කරයි. 

මෙලෙස මුදල් සොරා ගැනීම සම්බන්ධයෙන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත ගුණවර්ධන මහතාගේ මෙහෙයවීම මත සිදුකළ විමර්ශන අනුව හොරා පිං කැටවල තිබූ මුදල් නෝට්ටු පමණක් ගෙන කාසි ඉවතට දමා ඇති බව පෙනී ගොස් ඇති බව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පැවසීය. 

පිං කැටවල තිබී දමා ගොස් තිබූ කාසි රැස් කොටදේවස්ථානයේ පියතුමෙකු විසින් දේවස්ථානය තුලට රැගෙන ගොස් ඇති බැවින් සොරකම සිදු කළ හොරාගේ ඇගිලි සලකුණු ලබා ගැනීම අපහසුවී ඇති බවද පොලීසිය පවසයි. 

සොරා අත් අඩංගුවට ගැනීම සදහා පොලීසිය පරීක්ෂණ අරඹා ඇත.