දෙමළ සන්ධානයට එරෙහිව නව බලවේගයක්


(එෆ්.අස්ලම්)

දෙමළ ජාතික සන්ධානයට එරෙහිව එම සන්ධානයෙන් ඉවත්ව ගිය පාර්ශව රැසක් එක්ව දෙමළ එක්සත් පෙරමුණ නමින් විකල්ප බලවේගයක් පිහිටුවාගෙන සිටින බව ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පැවසීය.

ආර්.සම්බන්ධන් නැවතත් පාර්ලිමේන්තුවට තරග නොවැදීමේ තීරණයක සිටින හෙයින් දෙමළ ජාතික සන්ධානයේ නායකත්වයට සුමන්තිරන් පත්කිරීමේ සැලසුමක් පවතින බවත් එවන් පුද්ගලයකු  දෙමළ ජනතාවගේ ජාතික නායකයා වීම ගැන දෙමළ ජනතාව හොදින් කල්පනා කළයුතු බවත් ප්‍රේමචන්ද්‍රන් මහතා කීය.

මුලතිව් තන්නීර්ඌරු ප්‍රදේශයේ දී ඊපීආර්එල්එෆ් පක්ෂයේ කාර්යාලයක් විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් ප්‍රේමචන්ද්‍රන් මහතා මේ අදහස් පලකර සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා මෙසේද කීය.

රටේ අලුත් ජනාධිපතිවරයා තමන් සිංහල ජනතාවගේ ඡන්දයෙන් පමණක් බලයට පැමිණි බව සහ ඒ ජනතාවට සේවය කරන බව අවධාරණය කර සිටිනවා. මහා ජාතියේ අය ඔහුට ඡන්දය ලබාදී තිබෙන්න පුළුවන්. නමුත් ඒ අවස්ථාවේදී උතුරු නැගෙනහිර පළාත්වල දෙමළ ජනතාව වෙනත් අයෙකුට ඡන්දය ප්‍රකාශ කර තිබුණා.

අපේ ජාතිය,ආගම,සහ භූමිය ආරක්ෂා කරගන්න ඕනෑ. අපට හිමි අයිතිවාසිකම් හිමිවිය යුතුයි. බලතල විමධ්‍යගත කළ යුතුයි. අප මුහුණ දෙන ප්‍රශ්න විසදිය යුතුයි. කියන හැගීම් නිසයි දෙමළ ජනතාව පසුගිය ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කළේ.

සමස්ත රටේම රාජ්‍ය නායකයා වශයෙන් ජනාධිපතිවරයා සිංහල ජනතාවගේ ඡන්දය වෙනුවෙන් පමණක් නොව ඔහුට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළ දෙමළ ජනතාවගේ ඡන්ද ගැනත් අවධානය යොමුකරන්න ඕනෑ. සමස්ත රටෙහිම රාජ්‍ය නායකයා වශයෙන් ජනාධිපතිවරයාට එකී වගකීමෙන් බැහැර විය නොහැකියි.

කාලයෙන් කාලයට බලයට එන රටේ නායකයින් මෙරට ජාතිකත්ව ගැටළුවක් තියෙන බව අවබෝධ කරගනිමින් ඒ ගැන සොයා බැලීමට කමිටු පත්කරමින් වාර්තා කැදවනවා. නමුත් කිසිදු රජයේ නායකයකු ඒ වාර්තාවන්හි නිර්දේශ ක්‍රියාත්මක කරන්නෙ නැහැ.

රටේ ජාතිකත්ව ගැටළුවක් නැහැ. සංවර්ධනය තුළින් ඒ ප්‍රශ්න සියල්ලටම විසඳුම් දිය හැකි බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා. ඒ සංවර්ධනය සිදු කරනවා කියලත් ප්‍රකාශ කරනවා. උතුරු නැගෙනහිර පළාත් කියන්නේ යුද්ධයෙන් බැට කෑ පළාත් දෙකක්. මේ පළාත්වල ජනතාව ජීවනෝපායන් පවා හරි ආකාරයෙන් නොමැතිව පිරිස් මෙහි ජීවත් වෙනවා. ඒ වගේම වැන්දඹු පවුල් ගණනාවක් ජීවත් වෙනවා.

අතුරුදන් වූවන් ගැන අහන කොට කියනවා අතුරුදන් අය අතුරුදන් තමයි කියලා. දෙපාර්ශවයක් අතර යුද්ධයේ දී මියයන්නට ඇති. එවන් උත්තරයක් තමයි ජනාධිපතිවරයාගෙන් ලැබෙන්නේ. නමුත් ඒ ගැන අපි ජනාධිපතිවරයාගෙන් අහල නැහැ. අපි අහන්නේ අවසන් යුද්ධයේ දී හමුදාවට බාරවුණ,මහජනතාව ඉදිරියේ රැගෙන ගිය 20,000ක පමණ පිරිසක් ගැනයි අපි අහන්නේ.අවංක රජයක් නම් රජය මේ ප්‍රශ්නයට පිළිතුරු දිය යුතුයි.

අගතියට පත් දෙමළ ජනතාව වෙනුවෙන් 16 දෙනෙකු පාර්ලිමේන්තු යැව්වත් සිවශක්ති ආනන්දන් හැර දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීන් 15 දෙනාම පාර්ලිමේන්තුවේ දී මොනවද කළේ.පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වශයෙන් සිටිමින් ආර්.සම්බන්ධන් විපක්ෂනායක ධූරයේ පවා සිටියදී එවක එජාප ආණ්ඩුවේ ගැලවුම්කරුවන් විදිහටයි ඔවුන් කටයුතු කළේ.

පසුගිය ආණ්ඩුවේදී රනිල් මෛත්‍රි දෙපිළ බැදී තම තමන්ගේ ප්‍රශ්න දිහා බැලුවා හැරෙන්න දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට විසඳුම් ගේන්න කටයුතු කළේ නැහැ.

රනිල්ගේ ආණ්ඩුව විසුරුවා හැරියට පස්සේ අධිකරණයේ නඩු පැවරූ පුද්ගලයා තමයි සුමන්තිරන්. මෛත්‍රීගේ ඉවත් කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි නිසා නඩු මඟට ගියා කියල සම්බන්ධන් ප්‍රකාශ කළා. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවැයි කියල කියපු මේ අය දෙමළ ජනතාව වෙනුවෙන් මොනවද කළේ.

ආර්.සම්පන්ධන් නැවතත් මහ මැතිවරණයට තරග නොකරන බව කියල තියෙනවා. දෙමළ ජනතාවට නායකත්වය දෙන්න යන්නෙ සුමන්තිරන් ද කියල දෙමළ ජනතාව හිතග තීරණයක් ගන්න ඕන.එවන් අහිතකර තත්වයක් ආව කියන්නෙ දෙමළ ජනතාව තමන්ම වළක් කපාගන්න ඕන.එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛයෙක් විදිහට කටයුතු කරන සුමන්තිරන් දෙමළ ජනතාවගේ නායකත්වයට එනව නම් දෙමළ ජනතාවගේ ප්‍රශ්න කොහෝ ගිහිං තියෙයිද කියල අපිට හිතාගන්න පුළුවන් යැයි ද කීය.