දෙමළ ජාතික සන්ධානයේ තීරණය පාර්ලිමේන්තුව කැඳවීමෙන් පසු


(එෆ්.අස්ලම්)

උද්ගතවී ඇති දේශපාලනික අර්බුදය සම්බන්ධ‍යෙන් දෙමළ ජාතික සන්ධානය කටයුතු කරන ආකාරය  පාර්ලිමේන්තුව රැස්වූ පසු  තීරණය කරන බව සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පැවසීය‍.

ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා නීතියට පටහැනිව ගනු ලැබූ ක්‍රියාමාර්ග  යන සියල්ලම සැලකිල්ලට ගනිමින් 
දෙමළ ජාතික සන්ධානයේ තීරණය ප්‍රතිපත්තිමය වශයෙන් ගනු ලබන බවද සුමන්තිරන් මහතා වැඩිදුරටත් පැවසීය. 

රට තුළ උද්ගත වී තිබෙන දේශපාලන අර්බුදකාරී තත්වයට ප්‍රධාන හේතුව ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව යමින්  අග්‍රාමාත්‍යවරයා පත්කිරීම  කර ඇතැයිද  හෙතෙම කීය. 
 
අග්‍රාමාත්‍යවරයෙකු ධූරයෙන් ඉවත් කිරිමේ බලය ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට පැවරී තිබුණද 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ඒ සදහා සම්පූර්ණ බලය පාර්ලිමේන්තුව වෙත පැවරී  ඇති බවත් අග්‍රාමාත්‍යවරයා ඉවත් කළ යුත්තේ විශ්වාසභංගයකින් බවත් සුමන්තිරන් මහතා සදහන් කළේය. 
 
එමෙන්ම පාර්ලිමේන්තුව වාර අවසන් කර තිබුණත්  ජනපතිගේ එකගතාවයෙන් හෝ එකගතාවකින් තොරව පාර්ලිමේන්තුව කැදවීමේ බලය කථානායකවරයාට පවතින බවත් පක්ෂ නායක රැස්වීමේදී  අවධාරණය කළ බවත්  හෙතෙම කීය.
 
පසුගියදා  පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදී ජනාධිපතිවරයා විසින් සිදුකරන ලද මෙම පත්කිරීම වැරදි බවට දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂනායක ආර්.සම්බන්ධන් මහතා විසින් පෙන්වා දී තිබෙන බවද මන්ත්‍රීවරයා සදහන් කර සිටියේය.
 
එදිනම දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්ව මේ පිළිබද සාකච්ඡා කළ පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ දෙමළ ජාතික සන්ධානය කා හට සහාය වන්නේද කියා මෙතෙක් තීරණය කර නැති බවත් බවත් ප්‍රජාතන්ත්‍රවාදය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා නීතියට පටහැනිව ගනු ලැබූ ක්‍රියාමාර්ග සැලකිල්ලට ගනිමින් ප්‍රතිපත්තිමය වශයෙන් තීරණයක් ගන්නා බවත් කියා සිටියේය. 
 
රටේ දේශාපාලන වාතාවරණය සහ දෙමළ ජාතික සන්ධානයේ මතය පිළිබද මාධ්‍ය වෙත අදහස් පලකරමින් සුමන්තිරන් මහතා මේ බව අවධාරණය කර සිටියේය.
 
කෙසේ වෙතත් ජනාධිපතිවරයා හා කතානායකවරයා අතර පැවති සාකච්ඡාවට අනුව ජනාධිපතිවරයා විසින් ලබන 5 වැනිදා පාර්ලිම්න්තුව කැදවීමටද තිරණය කර ඇත.